වායු දූෂණය අවම කරලීමට යෝජනා දෙන්නැයි පරිසර සභාවට උපදෙස්

(ලංකාපුවත් | කොළඹ) – ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල වායු දූෂණය අවම කරලීම සඳහා අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර සභාවට උපදෙස් දෙයි.

පරිසර අමාත්‍යාංශයේ නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ඊයේ (29) මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට පරිසර සභාවේ නව සාමාජිකත්වය ලද වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇතුළු සාමාජිකයින් 25 දෙනාම සහභාගි ව සිටියහ.

මෙහිදී නාගරික ප්‍ර දේශවල පවතින වායු දූෂණය පිළිබඳව අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල පවතින වායු දූෂණය අවම කරලීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස පරිසර සභාවට උපදෙස් දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

කොළඹ , ගාල්ල, කුරුණෑගල හා මහනුවර ඇතුළු ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල දිවාකාලයේ විශාල වාහන තදබදයක් පවතිනවා. මේ නිසා එම නාගරික ප්‍රදේශවල වායු ගෝලයේ පවතින කාබන් ප්‍රතිශතය මෙන්ම වාහනවල නළා ශබ්ද නැංවීම මැනීමේ නව උපකරණ මිල දී ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා. ඒවා ලබන වසරේ සිට ක්‍රියාත්මක කළ යුතුයි. නාගරික ප්‍රදේශවල වායුගෝලීය තත්ත්වයන් පරීක්ෂාවට ලක් කිරීම තවමත් සතුටු දායක මට්ටමක නෑ.

විශේෂයෙන් මහනුවර නගරය තුළ වායුගෝලීය තත්ත්වයන් ඉතාමත් දූෂිතයි.

අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.
වාහනවලින් වැඩිපුරම කාබන් විමෝචනය සිදුවන්නේ වේගයෙන් ධාවනය වීමේ දී නොව එක තැන වාහන නතර කර සිටීම මතයි.

රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනා. එම යෝජනාව ඉන් එහාට යමින් නාගරික ප්‍රදේශවල ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් Shuttle Bus සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැළසුම් කර තිබෙනවා.

එමනිසා අපේ නාගරික ප්‍රදේශවල මිනිසුන්ට පිරිසිදු වාතය ආඝ්‍රාණය කිරීම සඳහා අවශ්‍ය පාරිසරික තත්ත්වයන් නිර්මාණය කිරීම අපේ වගකීමක්. ඒ සඳහා දැනට දියුණු රටවල යොදාගන්නා උපක්‍රම හඳුනාගනිමින් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙස මම පරිසර සභාවෙන් ඉල්ලීමක් කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =