ඇමති බැසිල්, ඉන්දීය අගමැති හමුව අද

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද (02) හමුවීමට නියමිතය.

දිල්ලිහිදී එම හමුව සිදුවනු ඇති බව වාර්තා වේ.

ආයෝජන සහ සංචාරක හුවමාරු වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක්වීමට නියමිත බව සදහන්වේ.

ඊයේ(01) නවදිල්ලියට පැමිණි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබද අමාත්‍ය එස් නිර්මලා සීතාරාමන් මහත්මිය හමු විය.

එහිදී දෙරට අතර ආර්ථික සහයෝගිතාවට අදාළ කරුණු රැසක් පිළිබද සාකච්ඡා කෙරුණි. ඉන්දියාව සිය ආර්ථික සහයෝගිතා වැඩසටහන හරහා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගිතාව පිළිබද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.

දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගත හැකි ක්‍රම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණි. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්විය.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සුලබ් ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානයට ද පැමිණියේය.

එහි දී අමාත්‍යවරයා එම සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය බින්ඩේෂ්වර් පතක් මහතා මුණ ගැසුණි.

සුලබ් ජාත්‍යන්තර සමාජ සේවා සංවිධානය අධ්‍යාපනය තුළ මානව හිමිකම්, පාරිසරික සනීපාරක්ෂාව, සාම්ප්‍රදායික නොවන බලශක්ති ප්‍රභවයන්, අපද්‍රව්‍ය කළමනාකරණය හා සමාජ ප්‍රතිසංස්කරණය ප්‍රචලිත කිරීම පිළිබඳව ඉන්දියාව තුළ ප්‍රසිද්ධ සංවිධානයක් ලෙස සැලකේ. මෙම සංවිධානය සතුව ස්වෙච්ඡා සේවකයින් 5,000ක් පමණ සමාජ සේවා කාර්යයන් ඉටු කිරීමට එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *