ඉන්දියානු සාගර සමුළුවට සහභාගි වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

(ලංකාපුවත් | කොළඹ) –එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සාමාන්‍ය මඟී පර්යන්තය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි සිටි ගුවන් මඟීන් සමඟ කතාබහක ද නිරත විය.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිතා කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරිණ.

මෙහි සිව්වන සමුළුව 2019 වසරේ දී මාලදිවයිනේදී පැවැති අතර එහිදී “ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නො වන අභියෝග” පිළිබඳ පුළුල් සංවාදයට ගනු ලැබී ය.

“පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වන සමුළුව හෙට (04) සහ අනිද්දා (05) දෙදින තුළ අබුඩාබිහිදී පැවැත්වේ. මෙවර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කෙරේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට එක් ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *