ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයට වගකිව යුත්තන්ට දැඩි දඬුවම් – පකිස්ථාන අගමැති කියයි

(ලංකාපුවත් | කොළඹ) –පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් අමානුෂික ලෙස පුළුස්සා ඝාතනය කළ සිද්ධිය පකිස්ථානයට ලැජ්ජා සහගත කරුණක් බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් සිටින අතර වගකිව යුතු සියලු දෙනාට නීතියෙන් දැඩි දඩුවම් ලැබෙනු ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පාකිස්ථානුවන් පිරිසක් විසින් අදාළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයා වධ හිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා තිබේ.

ඝාතනය සිදු වූ සියල්කොට් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානියෙකු පවසා ඇත්තේ මුහම්මද් නබි තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට අදාළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට කර්මාන්තශාලා සේවකයින් චෝදනා කළ බවයි.

එරට පොලිසිය සදහන් කර ඇත්තේ දැනට ඇති මූලික තොරතුරුවලට අනුව පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු වූ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයාව කර්මාන්ත ශාලාව තුළදී ඝාතනය කර ඇති බවයි. සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙන්නේ මැර පිරිස ඔහුගේ දැඩි ලෙස තැළුණු සිරුර පිටතට ඇදගෙන යන අතර එහිදී ඔවුන් එය පුළුස්සා දැමූ අතර තවත් සිය ගණනක් ඔල්වරසන් දෙන ආකාරයයි.

මරණ පරීක්ෂණය සඳහා සිරුර රෝහලට යවා ඇති ප්‍රියන්ත කුමාරට පහර දීමට මැර පිරිස පෙලඹවූයේ නිවැරදි ලෙසම කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමට පොලිසිය තවමත් උත්සාහ කරමින් සිටින බව සදහන්ය. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *