පළාත් පාලන ආයතනවල ගැටළු සාකච්ඡා කිරීමට විශේෂ කැදවීමක්

(ලංකාපුවත් | කොළඹ) – පළාත් පාලන ආයතන සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පළාත් පාළන කොමසාරිස්වරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු වගකිවයුතු නිලධාරීන් ඉදිරියේදී රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට කැදවීමට අපේක්ෂා කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

මේබව සදහන් කෙරුනේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති අවසන් කිරීමට ඇති කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. සිමෙන්ති හිගය, පැවති කොවිඩ් තත්ත්වය වැනි හේතු නිසා ව්‍යාපෘති අදාළ කාලය තුළ අවසන් කිරීමට නොහැකිව ඇති බැවින් එම කාලය ලබන වසරේ ජනවාරි දක්වා හෝ දීර්ඝ කළ යුතු බව මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පැවසීය.

පළාත් පාලන ආයතන යටතේ ඇති ක්‍රීඩාංගන ආදී දේපළ නිසි පරිදි නඩත්තු නොකිරීම පිළිබදවද මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ.‍ පළාත් පාලන ආයකන මගින් එම කටයුතු නිසි පරිදි සිදුවනවා දැයි සොයා බැලීම සදහා මසකට වරක් හෝ රේඛීය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීම සදහා මැදිහත් වන ලෙස අමාත්‍යවරයා මෙහිදි අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

පළාත් සභා අක්‍රීයව පවතින නිසා පළාත් පාලන ආයතන පරිපාලනය සදහා පළාත් පාලන ආයතනවල මුදල් පරිපාලනය සදහා පළාත් පාලන කොමසාරිස්වරු කටයුතු නොකිරීම නිසා රේඛීය අමාත්‍යාංශය මගින් මෙය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

පවතින කොවිඩ් තත්ත්වය නිසා පළාත් පාලන ආයතනවල ආදායම ශීඝ්‍ර ලෙස අඩු වී ඇති බව කාරක සභාවේදී සාකච්ඡා විය. වරිපනම් බදු අයකරගැනීමේදී තක්සේරුකරණය සදහා සේවක සංඛ්‍යාව අඩුවීම නිසා ලැබෙන ආදායම සත්‍ය වශයෙන් ලැබිය යුතු ආදායමට වඩා බෙහෙවින් අඩුවී ඇති බව මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කළහ.එසේම නගර සභාවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධවේදීන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ හිගය ආදී ගැටලු රැසක් පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. අලුතින් බදවාගත් උපාධිධාරීන් පළාත් පාලන ආයතනවලට යොමුකිරීමට පියවරගන්නා බවත් මෙම ගැටලු හදුනාගෙන ඇති බැවින් ඊට කඩිනමින් විසදුම් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

කාරක සභා සාමාජිකයන් වන ශාන් විජේලාල් ද සිල්වා, සුදත් මංජුල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක්ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *