හදබිම සක්‍රීය කිරීමට ඇමති මැදිහත් වෙයි

(ලංකාපුවත් | කොළඹ) – වසර 30ක් පමණ පැරණි රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වඩා කාර්යක්ෂම ලෙස ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්තිය සඳහා යොදා ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙම අධිකාරිය පසු ගිය වසර ගණනාවක් රාජකාරියක් නොමැති නිලධාරින්ට වැටුප් ගෙවමින් පවත්වා ගෙන ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂිකර්මය පිළිබඳ පශ්චාත් උපාධිය හා කෘෂිකර්ම ඩිප්ලෝමාව හැදෑරු නිලධාරින් 130ක් පමණ සිටින බවත් ඉන් වැඩිදෙනෙකු වසර 20කට වඩා ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය බවත් අද (03) පෙරවරුවේ හදබිම අධිකාරියේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තිරණය කර ඇති මේ යුගයේ මෙවැනි උගත් දක්ෂ පළපුරුද්ද සහිත නිලධාරින් නිකමුන් ලෙස ආයතන තුළ තබා ගැනීම රටට බලවත් පාඩුවක් බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිෂ්පාදන ව්‍යාපෘති හා ග්‍රමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ස්වයං රැකියා වැනි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා අමත්‍යාංශයට සම්බන්ධ විදෙස් අධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් මුදල් ප්‍රතිපාදන ලබා දී හදබිම අධිකාරි⁣ය සක්‍රීයව කෘෂිකාර්මික කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස එවෙලේම අදාළ නිලධාරින්දුරකථනයෙන් දැනුවත් කළ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරින් සියලුදෙනාගේ සහභාගීත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කරන ලදී. මේ අතර පාංශු සංරක්ෂණයට අදාළ ව්‍යාපෘතියක් සූදානම් කර ඒ සඳහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන්ද හදබිම අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයා විසින් මෙහිදී දැනුවත් කරනු ලැබීය. එමෙන්ම මෙරටට අවශ්‍ය බීජ මෙරටේම නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන යටතේ ඉඩම් හා අවශ්‍ය සියලු සහායන් ලබා දෙන බැවින් බීජ නිෂ්පාදන ව්‍යාපෘතියක් මහා පරිමාණයෙන් ආරම්භ කරන ලෙසද ඇමතිවරයා හදබිම නිලධාරින්ගෙන් ඉල්ලීමක්ද කළේය.

මෙම සාකච්ඡාවට හදබිම අධිකාරියේ සභාපති උප සභාපති ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් සම්බන්ධ වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *