හේමාස්, ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ‘ආයති’ ගීතය සහ ‘Ideation Zone’ එළිදක්වයි

(ලංකාපුවත් | කොළඹ) – හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ‘හේමාස් අවුට්රීච් පදනම’, දෙසැම්බර් 03 දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් විශේෂ ගීතයක් එළිදැක්වීමට කටයුතු කළේ ය. මෙම ගීතය ගායනා කරනු ලබන්නේ සුප්‍රකට ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් විසිනි. මීට අමතරව, රාගම පිහිටි, ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය තුළ ‘Ideation Zone’ නමින් විශේෂ කලාපයක් විවෘත කිරීමද මෙදින සිදුවිය.

සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් වන හේමාස් හි ප්‍රාර්ථනාව වන්නේ, සෑම දරුවෙකුටම එක සේ සලකන ලොවක් නිර්මාණය වනු දැකීම ය. එම ප්‍රාර්ථනාව පෙරදැරිව එම සමාගම 2016 වසරේදී, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, MAS හෝල්ඩින්ස් පුද්. සමාගම, රොෂාන් විජේරාම පදනම සහ දිස්ත්‍රික් 3220 රොටරි සමාජය සමග එක්වී ආයති භාරය පිහිටුවා ගත් අතර, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහයෝගය සමගින් ආයති මධ්‍යස්ථානය ඉදිකිරීමට කටයුතු කළේ ය.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවන් ඇතුළුව විවිධ ආබාධ වලින් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති දුර්මත බැහැර කරවීම සඳහා ආයති මධ්‍යස්ථානය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා භාතිය හා සන්තුෂ් විසින් ආයති ගීතය නිර්මාණය කරන ලදි. මෙම ගීතයේ පදවැල මගින්, ආබාධ සහිත දරුවන් එදිනෙදා මුහුණ දෙන ජීවන යථාර්ථය සහ, එම දරුවන්ට ආදරය හා රැකවරණය මෙන්ම අනෙකුත් දරුවන් සමග පාසල් යාමට අවස්ථාව ලබාදීමේ වැදගත්කම අවධාරණය කරයි. එසේ කිරීම මගින් එම දරුවන්ට සමාජ ඇසුරට පිවිසෙමින්, ස්වාධීනව ජීවත් වීමට ඉගෙන ගනිමින්, අනාගතයේදී ස්වාධීන හා ඵලදායී පුරවැසියන් ලෙස ජීවත් වීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාව හිමි වේ.

“හේමාස් සමාගම සෑම විටම උත්සාහය කරන්නේ රටේ ජනතාවගේ ජීවිත සුපෝෂණය කිරීමටයි. එම උත්සාහය තුළදී අප හේමාස් අවුට්රීච් පදනම හරහා වඩාත් අන්තර්කරණය වූ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදෙනවා. සෑම දරුවෙකුටම තම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා අවස්ථාව තිබිය යුතු බව අපගේ විශ්වාසයයි. ආබාධ සහිත දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට ගෞරවාන්විත ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම අප සතු යුතුකමක්.
“රට පුරා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දොරටු විවර කරදීම සඳහා අප දරන උත්සාහයේ එක් පියවරක් වශයෙන් 2002 වසරේදී අප ‘පියවර’ වැඩසටහන හඳුන්වා දුන්නා. මුල් ළමා විය සංවර්ධනය ඉලක්ක කරගත් මෙම වැඩසටහනේදී ප්‍රධාන අවධානය යොමුකෙරුණේ, අඩු පහසුකම්ලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීම සඳහායි. සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේදී සමාන අවස්ථා හිමි විය යුතු බව අප තරයේ විශ්වාස කරනවා. එමෙන්ම මෙම වසර ආරම්භයේදී, ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, වර්තමාන සමාජය තුළ ඔවුන්ට සමාන අවස්ථා ලබාදීමත් ඉලක්ක කරගෙන අප ‘එක සේ සලකමු’ සමාජ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු කළා.” හේමාස් හෝල්ඩින්ස් පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් 20% කට අධික පිරිසක් කිසියම් ආකාරයක ආබාධයකින් පෙළෙන බව විශ්වාස කෙරේ. මෙම දරුවන් සමාජයේ පවතින වැරදි අදහස් නිසා පීඩාවට පත්වීමේ ඉඩකඩ අවම කිරීමටත්, ඔවුන්ට සමාජය තුළ සමාන අවස්ථාවන් හිමිකර දීමටත් ආයති භාරය කැපවී සිටී.

“මෙවර ලෝක ආබාධ සහිත වූවන් සඳහා වන දිනයේ තේමාව වන්නේ ‘අන්තර්කරණය වූ, විවෘත හා තිරසාර පශ්චාත් COVID-19 ලෝකයක් සඳහා ආබාධ සහිත පුද්ගලයින්ගේ නායකත්වය සහ සහභාගීත්වය’ යන්නයි. අවාසනාවකට, COVID-19 ව්‍යාප්තිය සහ, සමාජය තුළ පවතින මිථ්‍යා මත සහ අනවබෝධය වැනි සාධක නිසා, ආබාධ සහිත දරුවන් සමාජයෙන් කොන්වීමේ ගැටලුව තවදුරටත් දරුණු අතට හැරී තිබෙනවා. ආබාධ සහිත දරුවන් බොහෝ දෙනෙකු විවිධාකාර වූ කුසලතාවන් සහිත අය වුවත්, අනෙක් දරුවන්ට මෙන් ඔවුන්ට එම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආයති මධ්‍යස්ථානය ඔස්සේ අප උත්සාහ කරන්නේ මෙම අඩුව සපුරාලීමටයි. මේ ඔස්සේ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ආසියානු කලාපය තුළ විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම, ආයති මධ්‍යස්ථානයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආබාධ අධ්‍යයන අංශයේ ඉලක්කය වී තිබෙනවා.” කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ ආයති භාරයේ සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවා ය.

ප්‍රතිකාර ලබන දරුවන්ට තම සිතිවිලි දෘශ්‍යමය ආකාරයට ප්‍රකාශයට පත්කිරීමට හැකිවන පරිදි, ආයති ජාතික මධ්‍යස්ථානය තුළ ‘My World’ Ideation Zone ස්ථාපිත කරන ලදි. මෙමගින් දරුවන්ගේ මනස ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමට චිකිත්සක වරුන්ට අවස්ථාව ලැබේ. මෙය දරුවන්ගේ දෘශ්‍ය, සංජානන, චාලක සහ අවබෝධ හැකියාවන් උත්තේජනය කරමින් ඉගෙනුම වඩාත් විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කරනු ඇති අතර, සමාජයීය වශයෙන් යහපත් පුරුදු ඔවුන් තුළ ඇතිකරමින්, වඩාත් සමෝධානික වර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් කරනු ඇත. චිකිත්සක වරුන්ට දරුවන් සමග සන්නිවේදනයේ යෙදීම පහසු කිරීම සඳහා, දරුවන්ට නිදහසේ කෙළිසෙල්ලම් කරමින් අදහස් ප්‍රකාශ කිරීමට හැකිවන ආකාරයේ ක්‍රීඩා උද්‍යානයක්ද මෙහි සකස් කර තිබේ. එමෙන්ම මෙම දරුවන් රැකබලා ගන්න පුද්ගලයන්ටද මෙම කලාපය තුළ විවේකයෙන් කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙන අතර, අවශ්‍ය නම් වැඩිදුර සහය ඉල්ලා සිටීමට ඔවුන් දිරිගැන්වීමද සිදුකෙරේ.

2020 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ ආයති මධ්‍යස්ථානයේ මේ වනවිට රටේ විවිධ පළාත් වල වෙසෙන දරුවන් 7,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත. එම දරුවන්ට අවශ්‍ය සියුම සේවාවන් එකම වහලක් යටදී ලබාගැනීමට හැකිවීම මෙම මධ්‍යස්ථානයේ ඇති එක් විශේෂත්වයකි. ආයති මධ්‍යස්ථානය තුළ ලබාදෙන සේවාවන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥයන් විසින් එම සේවාවන් ලබාදෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *