බැදුම්කර නඩුවේ චෝදනා 11කින් රවී නිදහස්

(ලංකාපුවත් | කොළඹ) – 2016 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති චෝදනා 22 න් 11 කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණය අද(06) නියම කළේය.

මෙම නඩුවට මූලික විරෝධතා මතු කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම චෝදනා විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි. එම මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා සදහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බවට විනිසුරුවරයා ප්‍රකාශ කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සදහන් කළේ පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා 22 අතරින් චෝදනා 11 කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කරනවාද ඉවත් කරනවාද එසේත් නැත්නම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සදහා දිනයක් ලබා දෙන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *