(ලංකාපුවත් | කොළඹ) –“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ආරම්භ විය.
හෙක්ටයාර් එකක භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගිවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා ඇතුළු පිරිස සමඟ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වූහ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ පිහිටි ප්‍රතිනැව්ගත කෙරෙන වාහන හසුරුවන මෙහෙයුම් අංශය (Ro Ro operations) වෙත ගිය අග්‍රාමාත්‍යතුමා වාහන ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය.
මෙම වසර තුළ පමණක් වාහන ලක්ෂ පහක ප්‍රමාණයක් එම අංශයෙන් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.
වරාය විසින් මෙතෙක් හසුරුවා ඇති ඉහළම වාහන ප්‍රමාණය මෙය වන අතර අග්‍රාමාත්‍යතුමා සහ චීන තානාපතිතුමා එක්ව එම අංගනයේ දී පීත්තපටියක් කපමින් එය සංකේතවත් කළේය.
අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ, කළම්බු ලොජිස්ටික් සමූහයේ සභාපති එරික් අම්බලංගොඩගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.