ජනමාධ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

 

(ලංකාපුවත් | කොළඹ) – 2022 ජනවාරි පළමු වැනිදා සිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙන අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව පත්කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

1987 ඔක්තෝම්බර් පළවෙනි දින විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනු අනුෂ පැල්පිට මහතා, 1990 විවෘත තරග විභාගය සමත්ව, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට සහ 1993 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරී වරයෙකු ලෙස සේවය කළේය.

1995 අප්‍රේල් මස විවෘත තරග විභාගයක් සමත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ හෙතෙම,2013 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇත.

ඒ මහතාගේ පරිපාලන සේවා කාලය තුළ ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරී, සංවර්ධන ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ හා වැඩබලන සමාන්‍යධිකාරි , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ සහ පළමු අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙසත් ලංකාපුවත් ආයතනයේ සභාපති තනතුරත් සැලසිනේ ආයතනයේ නිසි බලධාරී තනතුරත් පැල්පිට මහතා හොබවා තිබේ.

2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙ කටයුතු කළ ඒ මහතා, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නෙළුම් කුළුණ ආරම්භ කිරීමටත්, සූරියවැව IT park, සහ කොකාවිල් කුළුණ නිම කිරීමටත් දායක විය. පොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සභාපතිවරයා ලෙස 2011 /2012 වර්ෂවල කටයුතු කිරීමටද ඔහුට හැකි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදි උපාධිධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා, 2003/ 2004 වර්ෂවල ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබේ.

2015 වර්ෂයේ ජනවාරි 19 දින සිට රාජ්‍ය පරිපාලන සංචිතයට ඒ මහතාව මාරු කර තිබුනි.

2016 ජූනි මස පළමු වන දින සිට පැල්පිට මහතාගේ රාජකාරී වැඩ තහනම් කරන ලදී. ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ වරදට ඔහුටත් ලලිත් වීරතුංග මහතාටත් එරෙහිව FCID ආයතනය විසින් මහාධිකරණයේනඩු පවරන ලදී.

2017 සැප්තැම්බර් හත්වන දින අනුෂ පැල්පිට මහතාත් ලලිත් වීරතුංග මහතාත් වසර හයක සිරදඬුවමකට යටත් කරන ලදි. 2019 නොවැම්බර් මස දහනම වන දින අභියාචනාධිකරණය විසින් සියලුම චෝදනාවලින් ඔවුන් දෙදෙනා නිදොස් කර නිදහස් කරන ලදී.

2020 දෙසැම්බර් 19 වැනි දින ජනාධිපතිතුමා විසින් කර්මාන්ත අමාත්‍යාංශය ලේකම්වරයා ලෙස පත් කරන ලදි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *