ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව වසරක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

(ලංකාපුවත් | කොළඹ) – අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවිඩයෙන් කියා සිටියි.

වසංගත තහංචි මධ්‍යයේ පවා අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැප කිරීම්වල ප්‍රතිඵලයක් බව සතුටින් කිව හැකියැයි ද ජනාධිපතිවරයා පවසයි.

එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතවය.

ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතුය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව බව මම විශ්වාස කරමි.

අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව මාගේ විශ්වාසයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණවූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට අපට පුළුවන. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනි. ජයගත් අභියෝග සේම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරිගන්වනු ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුවද,වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතී. අකර්මන්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමට ද ලක් විය. වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බව මම සතුටින් සඳහන් කරමි.

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමකි.

අතීතයේ සිට මේ දක්වා පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වා ගනිමින් නව විදේශ සබඳතා ගොඩනඟා ගැනීමට අපට හැකි වීම සුවිශේෂී ආයෝජනයක් ලෙස දකිමි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම”සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී, ධෛර්යය සම්පන්න වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *