ගුවන් යානා නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කාරණා මත පමණයි

(ලංකාපුවත් | කොළඹ) – මෙරට පවතින ඩොලර් සංචිත අර්බුදයත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රජයෙන් ලැබී තිබෙන මුදල්, ඉතා පරික්‍ෂාකාරී හා සැලසුම් සහගත ආකාරයෙන් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සහ අත්‍යවශ්‍ය ගුවන් යානා නඩත්තු කටයුතු වෙනුවෙන් යොදවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ගුවන්හමුදා මූලස්ථානයේ අද(12) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

ඩොලර් සංචිත අර්බුදයක් පවතින අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් යානා අමතර කොටස් ගෙන්වීමක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවට ඇතැමුන් චෝදනා එල්ල කරනු ලබයි.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් අත්‍යවශ්‍යම ගුවන්යානා අමතර කොටස් පමණක් මෙලෙස ගෙන්වා නඩත්තු කටයුතු සිදු කරන බවත් එය ඉතාම සැලසුම්ගත අයුරින් සිදු කරන බවත් ගුවන් හමුදාපතිවරයා සදහන් කරයි.

එසේම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සදහා යොදවා ඇති ගුවන් යානා මගින් ඩොලර් මිලියන 06කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව උපයා තිබේ. එම සියලු මුදල් ගුවන් හමුදාව විසින් මුදල් අමාත්‍යංශය වෙත බාර දුන් බවද සුදර්ශන පතිරණ මහතා පැවසීය.

රටට අත්‍යවශ්‍ය ගුවන් යානා නඩත්තු කිරීමක් පමණක් මේ අවස්ථාවේ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් මෙහිදී සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *