ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම කඩිනම් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසිම කඩිනම් කෙරේ. එය මේ වසරේ සංචාරක කර්මාන්තයට හදුන්වා දිමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙතෙක් කළක් ජාතික සංචාරක ප්‍රතිපත්තියක් රටතුළ ක්‍රියාත්මක නොවිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට නගන සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසීම පසුගිය වසරේ දි ආරම්භ කළ බව ඇමතිවරයා සදහන් කරයි.

ජාතික සංචාරක ප්‍රතිපත්තිය දැනටමත් කෙටුම්පත් කර තිබේ. ඒ සදහා මහජන අදහස් ලබාගැනීමට කටයුතු කළ අතර විශ්ව විද්‍යාල සහ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංවිධාන වල අදහස් ද ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා පෙන්වා දෙයි. අදාළ යෝජනා ද අධ්‍යනය කිරිමෙන් පසු දැනට කෙටුම්පත් කර ඇති ජාතික සංචාරක ප්‍රතිපත්තිය සදහා එහි සුදුසු යෝජනා ඇතුලත් කිරිමට අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කියයි. මෙම ජාතික සංචාරක ප්‍රතිපත්තිය සැකසිම සදහා උපදේශන සේවා සපයන්නේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යි.

ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය භෞතික සම්පත් සංවර්ධනය, තිරසර පරිසර කළමණාකරණය සහ ඵලදායි පුරවැසිභාවය සහ ජීවයෙන් පිරිපුන් මානව සම්පත යන සෞභාග්‍ය යේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුවේ සදහන් කරුණු වලට අදාළව නව සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරයේ තිරසර සංවර්ධනයක් අත්පත් කරගැනීමට නම් එහි සියලුම පාර්ශවකරුවන් සදහා ප්‍රතිලාභ බෙදි යා යුතු බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ කෙටුම්පත සැකසුණේ ඒ පිළිබද විශේෂ අවධානයක් දක්වමින් බව ද පෙන්වා දෙයි. සංචාරක ව්‍යාපාරයට ඵලදායි රාමුවක් සැපයීම ආයතනික රාමුවල ව්‍යුහය වැඩි දියුණු කිරිම, නියාමන රාමු ප්‍රතිසංස්කරණය කිරිම, තොරතුරු කළමණාකරණ ක්‍රියාවලිය උත්ශ්‍රේණි කිරිම සහ වෙලදපල පරිසරය වැඩි දියුණු කිරිම මගින් කාර්යක්ෂම හා ඵලදායි සංචාරක ව්‍යාපාරයක් රටතුළ ගොඩනැගිම මෙම ජාතික ප්‍රතිපත්තිය මගින් සිදු කෙරේ.

වසර 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් මිලියන 01 කට වැඩි පිරිසකට රැකියා උත්පාදනය සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට වැඩි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ. මේ සදහා සංචාරක උපායමාර්ගික සැලැස්මක් ද ක්‍රියාත්මක බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *