කොළඹ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අයගේ තොරතුරු රැස් කරයි

(ලංකාපුවත් | කොළඹ) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියළු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

හෙට(14), අනිද්දා(15) සහ 16වනදා තෙදින තුළ දී මෙය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් අරමුණු කර ගනිමින් නගරයේ තාවකාලිකව පදිංචි වී සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු ඒකරාශී කිරීම මේ අනුව සිදු වේ.

“ජාතික ආරක්‍ෂාව සුරකිමු, අපරාධ මත්ද්‍රව්‍ය දුරලමු“ යන මැයෙන් බස්නාහිර පළාත් ප්‍රජා පොලිසි කොට්ඨාසය විසින් මෙම වැඩපිළිවෙල දියත් කෙරේ.

ඒ අනුව නිවෙස්වල සිටින හෝ ඉහත සදහන් කළ වෙනත් ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටීනම් මෙම දින 03 තුළ ඔබ ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නම පොලිස් ස්ථානයේ පොලිස් ආඥා පනතේ 76වන වගන්තිය ප්‍රකාරව සකස් කර ඇති පෝරමයක් ලබා ගෙන තම ස්ථානවල සිටින තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් කර අදාළ පොලිස් නිලධාරීන් වෙත හෝ අදාළ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *