ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක්

(ලංකාපුවත් | කොළඹ) – ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සැකසීම ආරම්භ කෙරේ.

ඒ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA ) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ.

මෙමගින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් උසස් මට්ටමේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සදහා අවශ්‍ය පියවර ගනු ඇත. ඒ සදහා අවශ්‍ය ප්‍රමිති, ප්‍රතිපත්ති, සහ මාර්ගෝපදේශ සහිත පුළුල් මාර්ග සිතියමක් සකස්කෙරේ. රටේ සමස්ත සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවා නඩත්තුව, රෝග වැලැක්වීම සහ සත්කාර සේවා සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීම මගින් සෞඛ්‍ය වියදම් පාලනය කිරීම මෙහි මුලික අරමුණකි.

එමෙන්ම මෙය මෙරට තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගනයාම සදහා තිරසාර වැඩපිළිවලක ආරම්බයක් ද වනු ඇත. මෙම මුලපිරීම යටතේ, ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක්, මෙහෙයුම් අන්තර් ක්‍රියාකාරී සැලැස්මක්, ධාරිතා සංවර්ධන සහ තාක්ෂණික ආධාර සැලැස්මක් සංවර්ධනය කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශකරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි ICTA සභාපති ඕෂද සේනානායක මෙම ගිවිසුමට අත්සන් කළේය.

මෙරට සෞඛ්‍ය සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස පවත්වාගනයාම අරමුණු කරගනිමින් ඩිජිටල් තාක්ෂනය පදනම් කරගත් මුලපිරීම් ගණනාවක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වමේවනවිටත් සාර්ථකව ක්‍රියාවට නගා ඇත. වෛද්‍ය සැපයුම් සේවා කළමනාකරණ තොරතුරු පද්ධතිය (MSMIS), රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS) සහ COVID-19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෘදුකාංග විසඳුම් මේ අතර ප්‍රමුකවෙයි.

මෙම ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සදහාවූ වැඩ පිලිවලේ මුලපිරීම් අවස්තාව 12 දා කොල්ලුපිටිය ආර් ඒ ඩි මැල් මාවතේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්විණි. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුනාප්‍රේම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි සභාපති ඕෂද සේනානායක ,එහි ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරී කාංචන තුඩුගල ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *