ත්‍රිරෝද රථ රියදුරන් බහුවිධ නිපුණතාවයෙන් පූර්ණ කිරීමට සූදානම්

(ලංකාපුවත් | කොළඹ) – පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිපුණතා උදාන ජාතික වැඩසටහන වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘වයඹ උදානය’ නමින් පසුගියදා ආරම්භ විය.

මෙම ජාතික වැඩසටහනට සමගාමීව වයඹ පළාතේ විසිර සිටින ත්‍රිරෝද රථ රියදුරන්ගේ නිපුණතා හැකියාවන් වර්ධනය කර ඔවුන් බහුවිධ නිපුණතා සහිත වෘත්තීලාභීන් බවට පත් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “Skills 4 you” වැඩසටහන ආරම්භ කෙරිණ.

එම වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ රියදුරන් හට ගොඩනැගිලි නඩත්තු සහ සේවා, ලෝහ පිරික්සුම්කරණය, ගෘහස්ථ විදුලි උපකරණ අලුත්වැඩියාව සහ සේවා, ගෘහාශ්‍රිත වෙනත් සේවා වැනි ක්ෂේත්‍රයන් 04ක් යටතේ ඇති විවිධ වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමෙන් නිපුණතා සපුරාගත් පසු ඔවුන්ට පවතින රැකියා අවස්ථාවන් ලබා දීම සහ ස්වයං රැකියා වෙත යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *