ව්‍යවසායකයින්ට නොමිලයේ උපදෙස් දීම සඳහා මාර්ගගත මණ්ඩපයක් සම්පාදනයට එක්සත් ජනපදයේ සහය

(ලංකාපුවත් | කොළඹ) – එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිතායතනය (USAID), නැගී එන ව්‍යවසායකයින් අත්දැකීම් පරිපූර්ණ ව්‍යාපාර විශේෂඥයින් සමගින් නොමිලයේ ම සම්බන්ධ කරන්නා වූ මාර්ගගත (online) උපදේශක මණ්ඩපයක් (mentoring platform)පසුගියදා දියත් කරන ලදී.

www.yes.youlead.lk හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකි මෙම වේදිකාවෙන් ශ්‍රී ලංකාව මුළුල්ලේ පැතිර සිටින අංකුර ව්‍යවසායකයින්ට ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්දැකීම් පරිපූර්ණ ප්‍රමුඛයින් සහ විෂයය ප්‍රවීණයින් 100කට වැඩි සංඛ්‍යාවක් සමගින් සම්බන්ධ කරමින් පෙර නොවූ විරූ අන්දමේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ට සහය දීමත් ඔවුන්ගේ ව්‍යාපාරවල දීර්ඝ කාලීන සාර්ථකත්වය සඳහා උපකාර කිරීමත් සිදු කෙරේ.

“බොහොමයක් ආරම්භක ව්‍යාපාරවල (startups), විශේෂයෙන්ම කාන්තාවන්ට හිමි ව්‍යාපාර හෝ, නගර මධ්‍යයෙන් පිටත, ජාල කරණ අවස්ථා සහ පහසුකම් වෙත සීමිත ප්‍රවේශයක් ඇති ස්ථානවල පිහිටා තිබෙන ව්‍යාපරවල සාර්ථකත්වය සඳහා බොහෝවිට ඔවුන්ට මගගැරී ඇත්තේ උපදේශනයයි. ” USAID හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙවර අධ්‍යක්ෂ රීඩ් ඈෂ්ලිමන් මහතා පැවසීය. “තමන්ගේ සැලසුම් ගැන සාකච්ඡා කිරීමටත්, ඒ සම්බන්ධ විශේෂඥයින්ගෙන් විෂයබද්ධ උපදෙස් නොමිලයේ ම ලබාගැනීමටත් හැකි මාර්ගගත මණ්ඩපයක් ව්‍යාපාර හිමියන් වෙත ලබාදීම හරහා, USAID හි YouLead ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය ශක්තිමත් කරනවා.”

USAID හි YouLead ව්‍යාපෘතිය සහ සස්නක සංසද පදනම අතරේ හවුල්කාරීත්වයෙන් මෙම වේදිකාව හරහා ව්‍යවසායකයින් සහ ව්‍යාපාරවල සාර්ථකත්වය කරා යෑමට උපකාර කිරීම සඳහා තමන්ගේ කාලය සහ නිපුණත්වය ස්වේච්ඡාවෙන් ලබාදෙන උපදේශකවරුන් ගලපනු ලැබේ. මෙහි දීර්ඝකාලීන තිරසාරත්වය සහතික කිරීම සඳහා, උපදේශකයින් සහ උපදෙස් ලබන්නන් සම්බන්ධ කරගැනීමට, උපදේශකයින් සහ උපදෙස් ලබන්නන් අතරේ සම්බන්ධය හැසිරවීමට සහ ජාලය සඳහා කීර්තිමත් උපදේශකයින් බඳවාගැනීමට ම කැපවූ කණ්ඩායමක් එම කාර්යයන්හි නිරත වේ.
සස්නක සංසද පදනමේ සභාපති හසිත විජේසුන්දර මහතා මෙසේ පැවසී ය “ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ආකල්පවල අඩුවක් නැහැ. නමුත් තමන්ගේ අදහස් සාර්ථකත්වය කරා ගෙනයෑම සඳහා බොහෝ ව්‍යවසායකයින්ට අත්දැකීම් ප්‍රමාණවත් නැහැ, ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ සංකීර්ණතාවලට මුහුණදෙනවිට ඒ අවධානය ඔවුන්ගෙන් ගිලිහී යනවා. මේ උපදේශන මණ්ඩපය හරහා අපට උද්යෝගීමත් ව්‍යවසායකයින් අත්දැකීම් සම්පන්න උපදේශකයින් සමගින් වඩාත් හොඳින් ගැලපීමටත් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සාර්ථකත්වය අත්කරගැනීමේ අනුපාතය ව්‍යුහගත ක්‍රියාවලියක් හරහා ඉහළ දැමීමටත් හැකි වේවි.”

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මිය පවසන අන්දමට “ව්‍යවසායක පුහුණු සහ අධ්‍යාපන ක්‍රියාවලියේ කොටසක් වශයෙන් අපි ව්‍යවසායකයින් ලැබූ සාර්ථකත්වය ගැන කථා, ඔවුන්ගේ යහ පරිච, සහ අභියෝගවලට මුහුණ දීමේදී ඔවුන් යොදාගත් උපක්‍රම ගැන මහජනයා අතරේ බෙදාහැරිය යුතුයි. පුද්ගල මට්ටමෙන් දෙදෙනෙකු අතර මේ ක්‍රියාවලිය සිදුකළ හැකි මණ්ඩපයක් උපදේශනය හරහා ලැබෙනවා. ජාතික මට්ටමින් ප්‍රවේශ විය හැකි මෙවැනි සේවා
වක් සලසාදීම පිළිබඳව අප USAID, සස්නක සංසද, සහ උපදේශකයින් සියළු දෙනාටම ස්තුති කරනවා.”
YouLead යනු, ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු වැඩිදියුණු කිරීමටත්, තාරුණ්‍යය ඵලදායී වෘත්තීන් සමගින් සම්බන්ධ කිරීමටත්, ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමටත් එක්සත් ජනපදයෙන් ලැබෙන ඩොලර් මිලියන 18ක සත් වාර්ෂික ප්‍රදානයක් ඇසුරෙන් International Executive Service Corps (IESC) හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. සස්නක සංසද පදනම යනු 1997 පටන් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ විභවය වැඩිදියුණු කිරීමට උපකාර කර ඇති ප්‍රජා සංවිධානයකි.

මෙම ව්‍යාපෘතිය, ස්වශක්තිය වර්ධනයටත්, සෞඛ්‍ය සම්පන්න, උගත් සහ සේවා නියුක්ත ජනතාවක් ප්‍රවර්ධනය කිරීමටත් ඇමරිකානු සහ ශ්‍රී ලාංකික ජනතාව අතර කාලයක් තිස්සේ පවත්නා හවුල්කාරීත්වයේ එක් අංගයකි. USAID හි වැඩකටයුතු පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා කරුණාකර පහත සබැඳියට පිවිසෙන්න: usaid.gov/sri-lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *