නාවලපිටිය ගොවීන්ට මිලියන 90ක කෘෂි උපකරණ බෙදා දෙයි

(ලංකාපුවත් | කොළඹ) – මෙරට නිෂ්පාදනය කළ හැකි සෑම බෝගයක්ම මෙරට නිෂ්පාදනය කර ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මිරිස් වගා කරන ගොවි පවුල් 300කට රුපියල් මිලියන 90ක් වටිනා කෘෂි උපකරණ බෙදාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් ඊයේ(23) සිදු විය.

ජල මෝටර්, ජල ටැංකි, වගා ආරක්ෂිත දැල්, ජල විසුරුම් පද්ධති ඇතුළු උපකරණ රැසක් මීට ඇතුළත් විය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය මෙම වැඩසටහනට දායකත්වය ලබා දී තිබේ. ගඟඉහළ කෝරළයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථානය සඳහා ට්‍රැක්ටර් රථයක් ලබාදිම ද අමාත්‍යවරයා අතින් මෙහිදි සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙරට නිෂ්පාදනය කළ හැකි සැම බෝගයක්ම මෙරට වගා කිරීමට ගොවීන්ට අවශ්‍ය සහාය රජයෙන් ලබාදෙන බවය.

නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ දැනටමත් මිරිස් නිෂ්පාදනය ආරම්භ කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වැඩසටහන යටතේ නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ පමණක් ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 300ක් බවද සදහන් කළේය. කන්න දෙකක් මිරිස් වගා කර ශෂ්‍යමාරු ක්‍රමය අනුගමනය කරමින් මෙම ප්‍රදේශයට ගැළපෙන වෙනත් බෝග වගාවට ගොවීන් දැනුවත් කරන බවද අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *