උතුරේ ජනතාවගේ නීතීමය ගැටළු විසදීමට වැඩසටහනක්

(ලංකාපුවත් | කොළඹ) – උතුරේ ජනතාවට නීතීමය වශයෙන් පවතින ගැටළු විසදීම යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවයේ මුලික අරමුණ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නීතිය බල ගැන්වීම හා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ කර්තව්‍යට ශක්තියක් වීමට උතුරු පළාතේ ජනතාව සදහා අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවලින් ලබා දෙන සේවාවන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට සහ, එම පළාතේ ජනතාවට පවතින නීති ක්ෂේත්‍රය මුලික කර ගත් ගැටළු විසදීම හා නීතිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා 2022 ජනවාරි මස 26 වන දින සිට 30 වන දින දක්වා උතුරු පළාත ආවරණය කරමින් Access to Justice නමින් ජංගම සේවා වැඩ සටහනක් පැවැත්වේ.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය උතුරු පලාතේ වව්නියාව, මුලතිව්, යාපනය, කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්ක පහ පුරා ක්‍රියාත්මකවන බවයි.

නීතිය බල ගැන්වීම හා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ හා නීතිය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ මෙම ජංගම සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා සංහිදියා කාර්යාලය, අතුරුදහන් වුවන් පිළිබදව කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය යන ආයතන සෙසු ආයතන සමග එක්ව එම පළාතේ ජනතාවට පවතින ප්‍රශ්න හා ගැටළු ඔවුන් පදිංචි ප්‍රදේශ වෙත ගොස් විසදීමට කටයුතු කිරීම මේ තුළින් සිදු කරන බවත්, විශේෂයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා පවතින ගැටළු විසදීමට හා සංහිදියාවට මෙහිදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත්, අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල් සදහා යම් අසාධාරණයක් වී ඇත්නම් ඒ සදහා වන්දි ලබාදීමට මෙවර අය වැයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බවත්, විශේෂයෙන් ජාතීන් අතර සාමය ,සංහිදියාව ගොඩනැංවීම උතුරු පළාතේ පැවැත්වෙන ජංගම සේවයේදී වැඩි අවධානයක් යොමු කරන බවත් ,සංහිදියාව සම්බන්ධව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සහ තරුණ පිරිස් සමග සාකච්ඡා කරන බවත්, අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *