‘SLC නැෂනල් සුපර් ලීග්’ සීමිත පන්දු ඕවර ක්‍රිකට් තරගාවලිය ඩයලොග් බලගන්වයි

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේ ප්‍රධානම තරගාවලිය ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කරනු ලබන ‘නැෂනල් සුපර් ලීග්’ පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් කටයුතු කරන අතර එම තරගාවලිය ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

‘ඩයලොග් – SLC නැෂනල් සුපර් ලීග්’ තරගාවලිය Dialog Television Channel අංක 140 ඔස්සේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ.

මෙරට හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන් 100 දෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට මහනුවර, කොළඹ, යාපනය, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් 5 තරග වදින අතර මහනුවර කණ්ඩායමේ නායකත්වය කමිඳු මෙන්ඩිස්ටත්, කොළඹ කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත්, යාපනය කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාටත් හිමිව ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් ගාල්ල කණ්ඩායමේ හා අශාන් ප්‍රියන්ජන් දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

‘ඩයලොග් – SLC නැෂනල් සුපර් ලීග්’ තරගාවලිය යටතේ සියලුම කණ්ඩායම් මුලික වටයේදී තරග 8 බැගින් ක්‍රීඩා කල යුතු අතර, හොඳම කණ්ඩායම් 2 පෙබරවාරි 19 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් රෙගුලාසිවලට අනුකුලව ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ එක් දිනකට තරග 2 බැගින් පැවැත්වේ. සමාරම්භක තරග ලෙසින් ජනවාරි 24 වැනිදා ගාල්ල හා කොළඹ කණ්ඩායම් එස්.එස්.සී පිටියේදීත් යාපනය හා දඹුල්ල කණ්ඩායම් පී. සරා ඕවල් පිටියේදීත් තරග වැදීමට නියමිතය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන් ද කටයුතු කරන ඩයලොග් ආසිආටා සමාගම ‘නැෂනල් සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ද ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්වෙමින් තරගාවලිය බලගැන්වීමට කටයුතු කරනු ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා “මේ දිනවල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වගේම 19න් පහළ ජාතික කණ්ඩායමත් ජාත්‍යන්තර තරග පිටියේ සුවිශේෂී දක්ෂතා දක්වමින් සිටිනවා.

එවන් පසුබිමක දේශීය ක්‍රිකට් පිටියේ උසස්ම තරගාවලිය ලෙසින් පැවැත්වෙන ‘නැෂනල් සුපර් ලීග්’ තරගාවලිය තව දුරටත් දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව ජාත්‍යන්තර තලයට රැගෙන ඒමට මනා පිටිවහලක් වෙනවා”, යනුවෙන් සඳහන් කළේය.

“නැෂනල් සුපර් ලීග්” තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් ඩයලොග් ආසිආටා සම්බන්ධ වීම ඉතා සාදරයෙන් පිළිගන්නා අතර ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙනුවෙන් ඩයලොග් ආයතනය සතු අඛණ්ඩ කැපවීමට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් වැඩි දුරටත් සඳහන් කළේය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍ය හර්ෂ සමරනායක මහතා අදහස් දක්වමින් “ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන් ‘නැෂනල් සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදීද ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ හවුල්වීම පිළිබඳ අප සතුටට පත්වෙන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ජාතික සංචිතයට ක්‍රීඩකයන් තෝරාගැනීමට මෙම තරගාවලිය උපකාරී වනු ඇත.

‘නැෂනල් සුපර් ලීග්’ක්‍රිකට් තරගාවලිය සාර්ථක වීමට මා සුබ පතනවා.” යනුවෙන් පැවැසීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික වොලිබෝල්, දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *