ඉන්දීය ජනරජ දින සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක්

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ(26) 73 වන ඉන්දීය ජනරජ දිනය කොළඹ දී සමරන ලදී.

ලොව විශාලතම ලිඛිත ව්‍යවස්ථාව බලාත්මක කරනු ලැබුවේ 1950 වර්ෂයේ ජනවාරි 26 වන දින ය. මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම සඳහා කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව අනුගමනය කරමින් මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ දිනය පුරා විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධාන කර තිබුණි.

ඉන්දීය සාම සාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් හට ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී උපහාර පුද කිරීමෙන් අනතුරුව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඔහුගේ නිල නිවස වන ඉන්දියා හවුස් හිදී ඉන්දීය ධජය එසවීය.

ඉන් අනතුරුව එතුමා හමුදා උත්තමාචාර නිරීක්ෂණ කළේය. මහ කොමසාරිස්තුමා විසින් මෙහිදී ඉන්දීය ජනාධිපතිතුමාගේ ජනරජ දින පණිවිඩුය ද ඉදිරිපත් කරන ලදී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ විශේෂ වීඩියෝ පණිවුඩයක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණ. ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම ගීත කිහිපයක් ඉදිරිපත් කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණ.

ඉන්දීය සිසුන් 10 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනෙහි පැවති ජනරජ දින සැමරුමට ද මහ කොමසාරිස්තුමා සහභාගී වූ අතර එහිදී මහා සංඝරත්නය විසින් ආශිර්වාද පූජාවක් පවත්වන ලදී.

ඉන්දියාවේ මිතුරන් ස‍ඳහා ප්‍රිය සම්භාෂණයක් ඊයේ සන්ධ්‍යාවේ ඉන්දියා හවුස් හිදි පැවැත්වීමට කටයුතු යොදා තිබුනි.

ඉන්දියාව 75 වන නිදහස් දිනය (අසාදි කා අම්රිත් මහෝත්සව්) ලොව පුරා සමරනු ලබන අවස්ථාවේ දී 73 වන ජනරජ දිනය උදා වී ඇත. 75 වන ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහ කොමසාරිස් කාර්යාලය 2022 ජනවාරි 26 වන දින සිට පෙබරවාරි 4 වන දින දක්වා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධාන කර ඇත. මහා සංස්කෘතික වැඩසටහනක්, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ උඩුකය පිළිරුවක් නිරාවරණය කිරීම සහ වෙළ‍‍‍‍‍‍‍‍‍‍‍‍ඳ ප්‍රවර්ධන වැඩසටහනක් යනාදිය මෙයට ඇතුළත් වනු ඇත.

හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල සහ මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය ද 73 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් සංවිධාන කර තිබිණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *