චීනයෙන් නව භූ කම්පන මධ්‍යස්ථාන 03ක් ශ්‍රී ලංකාවට

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා කියා සිටියේ දැනටමත් මහජන චීනය නව මධ්‍යස්ථාන 03ක් නොමිලයේ ලබා දීමට එකඟත්වය පළ කර තිබෙන බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍ය වේදීන් වෙනුවෙන් භූ කම්පන හා භූ සම්පත් සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා Oak-Ray හෝටලයේ දී පැවැත්විනි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනි.

එයට එක්වෙමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේ කියා සිටියේය.

“දැනට අපේ රටේ භූ කම්පන මධ්‍යස්ථාන හතරක් තිබෙනවා. පල්ලේකැළේ, බුද්ධංගල, මහකනදරාව හා හක්මන යන ප්‍රදේශවල ඒවා පිහිටා තිබෙනවා. භූකම්පන තවමත් අපිට අලුත් අත්දැකීමක්. මහජන චීනය අපිට ප්‍රතිඥා දී තිබෙනවා තවත් අංග සම්පූර්ණ මධ්‍යස්ථාන 03ක් ලබා දෙන්න. ඉන් එකක් අපි බස්නාහිර හා වයඹ පලාත් මායිමේ ස්ථාපිත කරනවා.

මහජන චීනය මගින් ලබා දීමට පොරොන්දු වී ඇති භූ කම්පන මධ්‍යස්ථාන 03ම අපිට ලැබෙන්නේ පරිත්‍යාගයක් වශයෙනුයි. ඒ සඳහා අපි හතපහක්වක් ගෙවිය යුතු නැහැ. එමනිසා අපිට ඉදිරි කාලය තුළ භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ලැබෙනවා.“

කැණිම් සිදුකරන ලද ස්ථාන පුනරුත්ථාපනය කිරීම සඳහා මෙන්ම භූ සම්පත් විදිමත් පරිදි කළමනාකරණය කිරීමේ වැඩ පිළිවෙළක් ලෙස ‘මිහිමවට කන් දෙමු‘ යනුවෙන් නව වැඩ සටහනක් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බවත් එහි එක් පියවරක් ලෙස භු කම්පන අධ්‍යයනය පුළුල් කිරීම සිදු කෙරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

GSMB සභාපති අනුර වල්පොල, අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *