‘ජය ශ්‍රී‘ වාරණ නියෝගය දික් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.

ඒ අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන මොඩ් ගොවියා සහ සුන්දරියේ යන ගීත ඇල්බම් වල අඩංගු ගීත 20ක් ගායනා කිරීම ප්‍රචාරය කිරීම සහ අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු වන වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට නියෝගයක් නිකුත් කෙරුණි.

දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය ස්ථිර අතුරු තහනම් නියෝගයක් බවට පරිවර්තනය කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

එසේම අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් 31 වැනිදා රූපවාහිනි නාලිකාවක් ඔස්සේ අදාල ගීත යළි ගායනා කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර මෙම නඩුවේ වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර අද විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *