මත්ස්‍ය අපනයනයෙන් මිලියන 63,222ක ආදායම් වාර්තාවක්

(ලංකාපුවත් | කොළඹ) – මත්ස්‍ය අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318ක (රුපියල් මිලියන 63,222) ඉහළම ආදායමක් වාර්තා කිරීමට පසුගිය වසරේදී (2021) හැකි වී තිබේ.

ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පැවසුවේ මෙය මෙරට ඉතිහාසයේ වැඩිම මත්ස්‍ය අපනයන ආදායම ලෙස ධීවර ක්ෂේත්‍ර වාර්තා අතරට එක්වන බවයි.

2020 වර්ෂයේ එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 215කි (රුපියල් මිලියන 39,874ක්). අමෙරිකානු ඩොලර් මිලියන 192ක (රුපියල් මිලියන 38,142) වැඩිම ධීවර වෙළෙඳ ශේෂය වාර්තා කිරීමට ද පසුගිය වසරේදී හැකි වූ අතර, 2020 වර්ෂයේ එය අමෙරිකානු ඩොලර් මිලියන 23ක් (රුපියල් මිලියන 4,370ක්) විය.

ශ්‍රී ලංකාවේ පසුගිය දශකයේදී අවම මුහුදු ආහාර ආනයන වියදම සහ මුහුදු ආහාර ආනයන ප්‍රමාණය වාර්තා කිරීම ද පසුගිය වසරේදී (2021) සිදු වූ අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 126ක් (රුපියල් මිලියන 25,080) කි. ප්‍රමාණය මෙට්‍රික් ටොන් 56,176කි. 2020 වර්ෂයේ එය අමෙරිකානු ඩොලර් මිලියන 192ක් (රුපියල් මිලියන 35,505) වූ අතර, ප්‍රමාණය මෙට්‍රික් ටොන් 85,809ක් විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉස්සන් වගා නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 14,415ක් වාර්තා කිරීම ද පසුගිය වසරේදී සිදු වූ අතර, ඉස්සන් අපනයන ආදායම 162%කින් වර්ධනය වූ බව ද රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

පසුගිය වසරේදී (2021) විසිතුරු මත්ස්‍ය අපනයන වටිනාකම 74%කින් වර්ධනය වී ඇති අතර, දේශීය ටින් මාළු නිෂ්පාදනය දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීම ද සිදු වූ බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

ඒ අනුව 2020 දෙසැම්බර් මස වන විට දෛනිකව දේශීය නිෂ්පාදනය වූ මාළු ටින් 90,000ක ප්‍රමාණය 2021 දෙසැම්බර් වන විට දෛනිකව නිෂ්පාදනය 220,000 දක්වා වැඩි කිරීමට හැකි වී ඇත. රටේ දෛනික අවශ්‍යතාව ටින් 275,000ක් පමණ වේ. මේ වර්ෂයේ එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සහ අතිරික්ත නිෂ්පාදනයක් ද ඉලක්ක කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *