ශ්‍රී ලාංකික රූපලාවණ්‍ය ශිල්පීන්ට බ්‍රිතාන්‍යයේ සරසවියක පාඨමාලා

(ලංකාපුවත් | කොළඹ) – මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන රූපලාවණ්‍ය ශිල්පීන් 500 දෙනෙකු හට රුපියල් ලක්ෂ 1005 ක වටිනාකමකින් යුතු බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථා හිමිවන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා(25) Cambridge and Oxford Members Club හි සිට ONLINE තාක්ෂණය ඔස්සේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා London School of Executive Education ආයතනයෙන් කළ ඉල්ලීමක් මත මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් හට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ රූපලාවණ්‍ය චිකිත්සක (Beauty Therapy), ඇරෝමා චිකිත්සාව (Aroma Therapy), නිය කාර්මික (Nail Technician), කොණ්ඩා මෝස්තර සහ කළමනාකරණය (Hair Dressing and Management) යන අංශ හතරක් ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව හිමිවනු ඇත. ඒ අනුව පළමු අදියරේ දී 500 දෙනකුගෙන් යුත් පිරිසකට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන අතර එහිදී වසරක කාලයකින් යුත් මෙම පාඨමාලා සඳහා එක් අයෙක් වෙනුවෙන් වැයකරන මුදල රුපියල් ලක්ෂ දෙකකට වඩා අධිකය.

පාඨමාලාව සම්පූර්ණ කරන රූපලාවණ්‍ය ශිල්පීන් හට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් හිමිවනු ඇත. මෙහිදී අදාළ පාඨමාලා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව හදාරන පිරිසට මව්බසින් සහාය ලබා ගැනීම සඳහා ද අවස්ථාව උදාවේ.

මහාචාර්ය ජෝන් වයිට් මහතා Executive Director London School of Executive Education, ආශිශ් මහතා Academic Director London School of Executive Education, චමින්ද ද සිල්වා මහතා C.E.O, London School of Executive Education ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *