(ලංකාපුවත් | කොළඹ) – අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වර්තමානයේ ජාතික රැල්ලක් ඇතිවිය යුතුයැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා පවසයි.
දකුණු ආසියානු රටවල ඉදිරි දශක කිහිපය තුළ ක්‍රමිකව නාගරික ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් ජනනය වීම ඉහළ යන බවත් එම ගැටලුවට ශ්‍රී ලංකාවත් මුහුණ දෙන බව ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු හා විසඳුම් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ මාධ්‍යවේදී වැඩමුළුවක්, ජර්මානු රජයට අනුබද්ධ ‘PHINLA‘ ලෝක අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්වුනි.
එම වැඩමුළුවේ දේශන සදහා එක්වෙමින් නලීන් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේ වසරකට ශ්‍රී ලංකාවේම මෙට්ට්‍රික්ටොන් 8,000ක් නාගරික ඝන අපද්‍රව්‍ය එකතු කරන බවත් එයින් බස්නාහිර පළාතෙන් පමණක් මෙට්ට්‍රික්ටොන් 3,000ක් එකතු කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය ජනනය තුළින් ඉදිරියෙන්ම සිටින්නේ බස්නාහිර පළාතයි.
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49ක් නාගරික ඝන අපද්‍රව්‍ය එක්රැස් කරන අතර මින් මෙට්ට්‍රික්ටොන් 100ට වඩා වැඩියෙන් අපද්‍රව්‍ය එක්රැස් කරන ආයතන අතරට දෙහිවල, කොළඹ, මොරටුව සහ මහරගම පළාත් පාලන ආයතන හදුනාගෙන ඇත.
පළාත් පාලන ආයතන 21ක් තවමත් අපද්‍රව්‍ය එකතු කිරීමක් සිදු නොකරන බව ද බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.