(කොළඹ, ලංකාපුවත්) – පවතින අර්බුදය විසදීමට මේ සතිය තුලදී එකගතාවකට පැමිණෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද(06) ඉල්ලීමක් කළේය.
ඔහු කියා සිටියේ මෙම සතිය අවසාන වීමට පෙර සියලු වාද භේද, දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට එක පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව සකස් කර සියලු දෙනාම අවංක කැපවීමෙන් එය ක්‍රියාත්මක කරන ලෙසය.
කතානායකවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය,
ගරු අග්රාමාත්යතුමනි, විපක්ෂනායකතුමනි, සභානායකතුමනි, ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි, ගරු අමාත්‍යතුමන්ලා සහ ගරු මන්ත්රීවරුනි,
ඊයේ සවස පක්ෂ නායක රැස්වීමේදී අප රටේ වර්තමාන තත්වය පිළිබද විවාදයක් අද දින පැවැත්විය යුතු බවට එකගතාවයක් ඇති කරගත් අතර අද අප සූදානම් වනුයේ එම විවාදය පැවැත්වීමටයි.
අද මෙම විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ අප රට තුල ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව ඔබ සියලු දෙනාට සිහිගන්වනු කැමැත්තෙමි. මෙය, අර්බුදයේ ආරම්භයක් ලෙස මා සදහන් කරනුයේ මා හට දැනෙනා ලෙසට මෙය තව ඉතා උග්‍ර වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අගවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිගයට වඩා දරුනු ආහාර හිගයක් ඉදිරියට ඇතිවිය හැක. එය එසේ වන්නේද නැතහොත් අපි යම්කිසි තරමකින් හෝ එය පාලනය කරගන්නේද යන්න තීරනය වනුයේ අප සියලු දෙනා මෙම සතිය තුල කටයුතු කරනා ආකාරය මත යැයි මම විශ්වාස කරමි.
පසුගිය දින කිහිපය පුරාත්, විශේෂයෙන්ම ඊයේ දිනත්, මෙම ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව විශාල පීඩනයකට ලක් වන්වට සිදු වුනු බව මා දනිමි. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව හා වරප්‍රසාද වල භාරකරුවා ලෙසත්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන අයෙකු ලෙසත් මා එය තරයේ හෙලා දකිමි. එසේම, මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නා ලෙස මා පොලිස්පතිතුමා ඇතුළු අරක්ෂක අංශ වෙත දන්වා ඇති බවද පවසනු කැමැත්තෙමි.
එහෙත්, අප සියල්ලෝම තේරුම් ගත යුතු යථාර්තය වන්නේ එසේ අප වෙත එල්ල කරනු ලැබුවේ ජනතාව විසින් විදින සාධාරණ පීඩනය බවයි. අප සියලු දෙනා යම්කිසි ජනතාවක් නියෝජනය කරන නායකයින් ලෙස මෙම සභාවට පැමිණ ඇත. එසේ අප නියෝජනය කරමින් පැමිණි සියලු ජනතාවට දැඩි ආර්ථික පීඩනය දැනෙන්නට පටන් ගෙන ඇත.
එබැවින්, මෙම තත්වය හොදින් අවබෝධ කරගෙන අද පැවැත්වීමට නියමිත මෙම විවාදයේදී මා ඔබ සියලු දෙනාගේ විශේෂ අවධානය යොමු කරනුයේ වරද කාගේද, කොතැනද යන්න ගැන විවාද කරනවාට වඩා, කල යුත්තේ කුමක්ද, එය කල යුත්තේ කෙසේද යන්න පිළිබද සාකච්ඡා හා විවාද කොට සුදුසු තීන්දු තීරණ සියළු දෙනා එකමුතුව ගන්නා ලෙසයි.
සාමූහිකව ජනතාව සමග එකට කරන වැඩපිළිවෙලක් තුලින් ජය ගැනීමට හැකි බව ඉතිහාසය තුලින් පෙන්වා දී ඇත. මෙම ගරු පාර්ලිමේන්තුවට අප මුහුණ දී ඇති මෙම අර්බුදය ප්රජාතන්ත්රවාදී රාමුව තුල විසදිය හැක. අපි එම කාර්යයේ අසමත් වුවහොත් එලෙස අසමත් වන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයයි. එහි ප්‍රතිඵල මගෙත්, ඔබෙත්, මේ රටේ වෙසෙන දහස් ගණන් අහිංසක ජනතාවගේත් ජීවිත වලින් කෙලවර විය හැක. එවැනි අදුරු යුග දෙකක් මාගේ ජීවිත කාලය තුල මා පසුකර ඇත. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අසමත්වීම නිසා ජීවිත දහස් ගණනක් බිලි විය. මාගේත්, ඔබගේත්, ඥාති හිතමිත්‍රාදීන්, දරුවන් ජීවත්වන්නේ මෙි රට තුලයි.එබැවින් අසාර්ථක නොවීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතු බව මා දැඩි ලෙස ඉල්ලා සිටිමි.
මා ඔබෙන් ජනතාව වෙනුවෙන් එකම ඉල්ලීමක් කරමි. එනම්, මෙම සතිය අවසාන වීමට පෙර සියලු වාද භේද, දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට එක පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගව සකස් කර සියලු දෙනාම අවංක කැපවීමෙන් එය ක්‍රියාත්මක කරල ලෙසයි.
අප සියලු දෙනා ගන්නා ක්‍රියාමාර්ග තුල දහස් ගණන් ජීවිත වල වටිනාකම මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයද රැදී ඇත. මේ සියල්ල සිතෙහි ධාරණය කර ගනිමින් විවාදයට සහභාගී වන ලෙස සියලු මැති ඇමතිවරුන්ට මා ආරාධනා කරමි.
ස්තූතියි.