(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ලෙස හදුන්වන මාගල කොට්ටච්චි නන්දියස් මහතා ඊයේ(12) සිය ජීවනගමන්මගට සමුදී ඇත.
පැරණි ජාතික හැඳුනුුම්පතට අනුව නන්දියස් මහතා 1914 ජූනි මස 3 වැනිදා උපත ලබා තිබේ. ඔහු මිය යන විට 110 වියේ පසු විය.
මෙතෙක් මෙරට ජීවත් වූ වයස්ගතම පුද්ගලයා ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇති නන්දියස් මහතා සිව්දරු පියෙකි.
ඉතා නීරෝගි දිවි පෙවෙතක් ගත කළ නන්දියස් මහතා තම මුළු දිවියම කැප කර ඇත්තේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. ඔහුගේ ජීවිකාව ගහකොළ සමඟ බද්ධ වූවකි. එහෙත් ඔහු ලිවීමට කියවීමට හැකියාව ඇති, පහ ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූවෙකි.
මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගි දිවිපෙවෙතට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාව බවත් වරෙක සදහන් කර තිබුණි. මෑතක් වන තුරුම නිවෙසේ පෝෂණ අවශ්‍යතා සඳහා අල, බතල, මඤ්ඤොක්කා පවා ඔහු වගා කර ඇත.
එමෙන්ම පාන්දරින්ම වත්තපිටියේ වැඩට යන නන්දියස් මහතාට එදා සිටම කැත්ත උදැල්ල ඉතා සමීප වූ බව ඔහුගේ සමීපතමයෝ පවසති. දරුවන් හතර දෙනකුගේ පියකු වන නන්දියස් මහතා පුතුගේ පරම්පරාවෙන් සිව් මුනුපුරන් දකින්නෙකි. පුංචිම මුනුපුරාට දැන් වයස අවුරුදු හයකි.
නන්දියස් මහතා මුළු ගමම හඳුනන්නේ ‘ලොකු අයියා’ ලෙසයි.
පිරිතකදී, ගංවතුර ආපදාවකදී ඕනෑම කරදරයකදී ඔහු කාගෙත් උදවුවට ගියේය. නන්දියස් මහතාගේ ආදර බිරිය කලකට පෙර මෙලොවින් සමු ගත්තාය. මෑතකදී ශ්‍රවණ තත්ත්වයේ දුර්වලතාවක් ඇති වුණත් ඔහුට හොඳ මතක ශක්තියක් තිබුණි.
මිය ගිය නන්දියස් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද(13) සිදු කෙරුණි.