(කොළඹ | ලංකාපුවත්) – මීට මාස තුනකට පෙර හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදී උපත ලද සිංහ පැටවුන් හයදෙනා එළඹෙන නිදහස් දිනය දා මහජන ප්‍රදර්ශනයට එක්කිරීමට නියමිතය.
ඊට පෙර මෙම පැටවුන් හයදෙනා සදහා නම් තැබීමට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා මහජනතාවට අවස්ථාව ලබා දිමට තීරණය කළ බවත් රිදීයගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසයි.
හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේ සිටින “ඩෝරා“ නැමති සිංහ ධේනුවටත් ඩෝරාගේ මව වන “ලාරා“ නැමති සිංහ ධේනුවටත් දාව උපන් සිංහ පැටවුන් හය දෙනා සදහා මෙලෙස නම් තැබීම සදහා අවස්ථාව සළසා තිබේ.
උපත ලබා ඇති සිංහ පැටවුන් හයදෙනා අතර ගැහැණු පැටවුන් පස් දෙනෙකු හා එක් පිරිමි පැටවෙකු වේ.
මේ වන විට මෙම පැටවුන් සදහා මාස තුනක් පමණ වන අතර ඔවුන් ඉතාමත් නීරෝගීව පසුවන බවත් ඔවුන් මවගේ කිරිවලට අමතරව මාංශ වර්ගද ආහාරයට ගනිමින් සිටින බවත් සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන් පවසයි.
මෙම සිංහ පැටවුන්ට නම් තැබීම රිදියගම සෆාරි උද්‍යානයේ නිල ෆේස් බුක් පිටුව හරහා හෝ මැසෙන්ජර් පණිවුඩයක් මගින් යෝජනා කළ හැකි බව මාධ්‍ය හමුවක් පවත්වමින් සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.