(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කරන මෙවර මැයි රැළිය ඉතිහාසයේ වැඩිම ජන සහභාගිත්වයක් සහිත මැයි රැළිය වන නිසා එදින මහනුවර හරහා යන පුද්ගලික ගමන් වලින් වළකින ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇමැති දිසානායක මහතා එම ඉල්ලීම කළේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පවත්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි රැළියේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස සිය මැයි දින පණිවුඩය නිකුත් කරමිනි.
එමෙන්ම මහනුවර මැයි රැළියට එක්වන ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් ගෙන් විශේෂ ඉල්ලීමක් කරන දිසානායක ඇමැති වරයා පොලිතීන් හෝ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මැයි රැළිය අවට හෝ මහනුවර කිසිම තැනක නොදමන ලෙස ද ඉල්ලා සිටියේය.
මෙවර ගැටඹේ මැයි රැළිය ප.ව.5.00 ට නිම කිරීමට බලාපොරොත්තු වන බවත්, රැළිය නිමවූ වහාම ක්‍රීඩාංගණය හා ඒ අවට පිරිසිදු කිරීමට මහ ඇමැතිවරයා ප්රමුඛ මැති ඇමැතිවරුන් ශ්රමදානයකය ද එක් වන බව අමාත්‍ය දිසානායක මහතා සඳහන් කළේය.
අමාත්‍ය එස්.බී.දිසානායක මහතා තම මැයි දින පණිවුඩයෙන් මෙසේද ප්‍රකාශ කළේය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී. ජනාධිපතිවරයා විසින් මෙවර මහනුවරට මැයි රැළිය ලබා දීම ගැන මහනුවර අපි එතුමාට විශේෂ ස්තුතියක් පළ කරනවා.
මහනුවර හේවාහැටින් මම මෙවර ගැටඹේට 5000 ක් ගේනවා. ඒ වගේම 3000 ක සමෘද්ධි යතුරු පැදි බලකායක් මේකට සහභාගී වෙනවා. මීට අමතරව මහනුවර සියලුම ආසන වලින් 5000, 3000 බැගින් සෙනඟ ගේනවා. මහනුවරට ලඟ තියෙන හඟුරන්කෙත, වලපනේ, මාතලේ, මහියංගණය, වැනි ප්‍රදේශ වලින් විශාල සෙනඟක් ගේනවා. මේ නිසා මහනුවර ඉතිහාසයේ කිසිම දවසක නොතිබූ අති විශාල තදබදයක් ඇතිවෙන්න පුළුවන්. දළදා පෙරහරේ අන්තිම දවස් 02 මහනුවර වැඩිම තදබදයක් ඇතිවන දවස්. නමුත් ඒ වගේ තුන් ගුණයක තදබදයක් ඇතිවේවි. පොලිසිය කියන්නෙත් එහෙමයි.මේ නිසා මැයි රැළියට එන වාහන ගාල් කරන්න විශාල භූමි ප්‍රදේශයක් අපි වෙන්කර තියෙනවා. ඒත් ගිලන් රථ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් අපි සකසා තිබෙනවා.
ඒ නිසා අපි පුද්ගලික අවශතා සඳහා මහනුවරට එන අයගෙන් විශේෂ කාරුණික ඉල්ලීමක් කරනවා, එදින මහනුවරට ඒම පුළුවන් තරම් අඩුකරන්න කියා. මේ සැරේ මුළු මහනුවරම අපි සරසනවා. හැබැයි පොලිතීන් එක කෑල්ලක් නැතුව රෙදි වලින්. ඒ වගේම මැයි දිනයට එන සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා, ගේන ආහාර බෑග් එකේ පොලිතීන්, ප්ලාස්ටික් වතුර බොතල්, හෝ වෙනත් අපද්‍රව්‍ය තැන් තැන් වල දාන්න එපා. ඒවා නියමිත කසල බඳුන් වල දාන්න. නැතිනම් ආපහු අරන් යන්න. ගැටඹේ හෝ නුවර කොහේවත් කසල දාන්න එපා.
හවස 5 ට රැළිය ඉවර වූ වහාම මැති ඇමැති වරුන් සියලු දෙනා භූමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට යනවා. ඒ වගේම මැයි 02 දා අපි ජනාධිපතිතුමත් සමඟ මහනුවර පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකට යනවා.
මෙවර මැයි රැළියේ දී අපේ පක්ෂයේ සමහර අයගේ තියෙන සුළු සුළු මතභේද හමාර කර පක්ෂය ශක්තිමත් කරන්න බලා පොරොත්තු වෙනවා.