ඩෙංගු මේ වසරේ 200ක් බිලි ගනියි – රෝගීන්ගේ සංඛ්‍යාව 63,000 ඉක්‌මවයි

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින කඩින්කඩ වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු කීට ඝනත්ව ඉහළ යෑම ඩෙංගු උණ වසංගත තත්ත්වය පැතිර යැමට හේතු වී ඇතැයි වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. ඩෙංගු මදුරු කීට ඝනත්වය කොළඹ ඇතුළු බොහෝ දිස්‌ත්‍රික්‌කවල වසංගත මට්‌ටමට ඉහළ ගොස්‌ ඇති බව ඔවුහු සඳහන් කළහ.

රජයේ ප්‍රධාන රෝහල් සෑම එකකම පාහේ ඩෙංගු උණ රෝගීන් 100 කට අධික සංඛ්‍යාවක්‌ ඊයේ(19) වන විට ද ප්‍රතිකාර ලබමින් සිටි අතර දිනපතා රෝහල්ගත වන එම රෝගීන්ගේ සංඛ්‍යාවෙහි වැඩිවීමක්‌ දක්‌නට ලැබෙන බව රෝහල් බලධාරීහු ප්‍රකාශ කරති.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද නියමයට අනුව ඩෙංගු උණ රෝගීන් සඳහා සාමාන්‍ය රුධිර පරීක්‍ෂණ වාර්තාව විනාඩි 30 ක්‌ ඇතුළතදී ලබාදීමට ප්‍රධාන පෙළේ රජයේ රෝහල් රසායනාගාර ඊයේ පියවර ගෙන තිබුණි.

දින තුනකට වඩා පවතින තද උණ, හිසරදය හා ඇස්‌ යට වේදනාව, මස්‌පිඬු හා සන්ධි වේදනාව, ඔක්‌කාරය හා වමනය, සමෙහි රතු ලප හට ගැනීම ඩෙංගු උණ රෝගයෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන්ය. දින දෙකකට වඩා තද උණක්‌ පවතී නම් වහාම රජයේ පිළිගත් වෛද්‍යවරයකු හෝ රජයේ රෝහලක්‌ වෙත ගොස්‌ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස මහජනතාවගෙන් වෛද්‍යවරු ඉල්ලීම් කරති.

විශේෂයෙන්ම ඩෙංගු උණ රෝගය පවතින විට පැරසිටමෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශකයක්‌ භාවිත නොකරන ලෙසත් නේවාසිකව වාසය කරන්නේ නම් තදින් උණ පවතින විට පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොඟවා රෝගීන්ගේ ශරීරය තැවීම සිදුකරන ලෙසත් ඉල්ලීම් කෙරේ. රෝගියා දියවැඩියාව හා රුධිරය සම්බන්ධ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම කළ යුතුය.

ඩෙංගු උණ රෝගීන් සඳහා ජලයට අමතරව නැවුම් පලතුරු යුෂ, කැඳ වතුර, තැඹිලි වතුර, සුප් වර්ග, දියර කිරි, පිටිකිරි වැනි මුඛ සජලන පානයක්‌ (ඕ ආර් එස්‌) පානය කිරීමට ලබාදිය හැකි බව වෛද්‍ය මතයයි.

මේ අතර පවතින ඩෙංගු වසංගත තත්ත්වය මත තම නිවෙස්‌ හා ගෙවත්තෙහි ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්‌ථාන ශුද්ධ පවිත්‍ර කර ඩෙංගු රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීමට සහය වන්නැයි සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලීම් කරති.

ගංවතුර පැවැති ප්‍රදේශවල ද මේ වන විට ඩෙංගු පැතිරීමේ දැඩි අවදානමක්‌ පවතින බව ද වාර්තා වී තිබේ. මේ වන විට මෙම වසරේ ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් 200 දෙනකු මියගොස්‌ ඇති අතර වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 63,000 ඉක්‌මවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *