චිනය අපගේ ප්‍රධානතම ආනයන මූලය බවට පත්වෙලා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – මෑත කාලයේදී අනිකුත් රටවලට වඩා වැඩි වේගයෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වී පාර්ශික වෙළඳාම වර්ධනය වී ඇති බවත් පසුගිය වසරේදී චීනය අපගේ ප්‍රධානතම ආනයන මූලය බවට පත්ව ඇති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා ප්‍රදර්ශණ හා සම්මේලන ශාලාවේ (SLECC) පැවති චීන – ගුවාන්ක්ෂි නිෂ්පාදන ප්‍රදර්ශණයට සහභාගි වෙමිනි.

චීනයේ ගුවාන්ක්ෂි ප්‍රාන්තය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කර ද්වීපාර්ශික ආර්ථික හා වාණිජ සහයෝගීතාව දියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබුනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ ශ්‍රී ලංකාව හා චිනය අතර ද්වීපාර්ශික වෙළඳාමේ වටිනාකම ඩොලර් බිලියන 4.4 ක් වැනි ඉහළ අගයක් ගන්නවා. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සිදුකළ මුළු ආනයන වලින් 42% ක් ම චීනයෙන් සිදුකර තිබුනා. ඒ අනුව අපට පැහැදිලියි චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමක පවතින බව, මේ වන විට ශ්‍රී ලංකාව හා චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් තිබෙනවා. චීනය ඉහළ දල දේශීය නිෂ්පාදිතයක් සහිත රටක්. අන්තර් ජාතික මූල්‍ය අරමුදල (IMF) හා ලෝක බැංකුව ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි රට ලෙස චීනය නම් කර තිබෙනවා. මෙවැනි ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටත් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම ශ්‍රි ලංකාවට ඉතා වාසිදායකයි. චීනයේ අනිකුත් ප්‍රාන්ත සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව ගුවාන්ක්ෂි ප්‍රාන්තය සමඟ පවතින වෙළඳ සම්භණ්ධතා ඉහළ මට්ටමක පවතිනවා. එය ඩොලර් මිලියන 80 ක්. මෙවැනි ප්‍රදර්ශණ හරහා එම ප්‍රාන්තවල නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයා හට ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා ” යැයි පැවසීය.

විදුලි උපකරණ, ආහාර, තේ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, රෙදි පිළි වැනි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගුවාන්ක්ෂි ප්‍රාන්තයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් 30 දෙනෙක් මෙම ප්‍රදර්ශණය සඳහා සහභාගි වී සිටි අතර මෙය ගුවාන්ක්ෂි ප්‍රාන්තය විසින් ලංකාවේ පැවැත්වූ පළමු ප්‍රදර්ශණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *