(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 20වනදා අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර ඇත.
අදාළ පෙත්සම් අද(14) කැඳවූ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවය.
එම නිසා එය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම විත්තිකරුවන් ඇප මත නිදහස් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහ අධිකරණ විනිසුරු අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සැප්තැම්බර් මස 20වනදා අධිකරණය හමුවේ දන්වන්නැයි නොතීසි නිකුත් කර ඇත.