(කොළඹ, ලංකාපුවත්) – දෙසතියකට පමණ පෙර නැගෙනහිර චීන මුහුදේ දී අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ ඉන්ධන කාන්දුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බව චීන බලධාරීන් පවසා ඇත.
වර්ග කිලෝමීටර් 120 ක ප්‍රදේශයක් පුරා තෙල් පැල්ලම් විසිරී තිබේ.
පසුගිය ජනවාරි හයවනදා සාන්චි නෞකාව අනතුරට ලක්වන විට එහි බොරතෙල් ටොන් එක්ලක්ෂ තිස්හය දහසක් ප්‍රවාහනය කරමින් තිබුණි. එහි කාර්ය මණ්ඩලයේ සිටි පුද්ගලයින් තිස්දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර මළ සිරුරු හමුවූයේ ඉන් දෙදෙනෙකුගේ පමණි.
මෙම තෙල් කාන්දුව හේතුවෙන් සමුද්‍ර ජීවින්ට ද දැඩි හානි සිදුවනු ඇති බවට විශ්වාස කෙරේ.
මේ වනවිට එම තෙල් තට්ටුව ඉවත් කිරීමට චීන නෞකා මෙහෙයුමක නිරතවී සිටින බව වාර්තා වේ.