ජල්ලිකට්ටු ක්‍රීඩාව නැවතත් උතුරේ

(කොළඹ, ලංකාපුවත්) – ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබෙන බව වාර්තාවේ.

ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ඉතා අවධානම් සහගත ක්‍රීඩාවකි.

ජල්ලිකට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලිකට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමය.

දිවයන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය. මේ නිසා ජල්ලිකට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.

ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නක් වන අතරම ශ්‍රීලංකාවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලිකට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම් ය.

මේ දිනවල කිළිනොච්චිය පෙරිය පරන්තන් ක්‍රීඩාංගනය ආසන්නයට තරුණයින් පිරිසක් එක්ව ජල්ලිකට්ටු ක්‍රීඩාවේ යෙදෙන අතරම යාපනය දිස්ත්‍රීක්කයේද ස්ථාන කිහිපයක ජල්ලිකට්ටු ක්‍රීඩාව පැවත්වීමට පියවර ගෙන ඇත.

ජල්ලිකට්ටු ක්‍රීඩාවට විරෝධය පලකරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතම් තරුණයින් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කල නොහැකි බවත් ය.

මේ හේතුවෙන් තෛපොංගල් සමය නිසා මේ දින කිහිපය ඊට ඉඩ දෙන නමුත් ජල්ලිකට්ටු ක්‍රීඩාව දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කොට ජල්ලිකට්ටු ක්‍රීඩාව උතුරේ සම්පූර්ණයෙන්ම නැවත්වීමට කටයුතු කරන බවටද විරෝධය පල කරන පිරිස් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *