සංහිඳියාව ගොඩනැඟුණු රටක් පිළිබඳ තම සිහිනය ඉටුකර ගැනීමට දිවි හිමියෙන් කැපවනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ජාති, ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සාමයෙන්, සමගියෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සමාජයක් ස්ථීර වශයෙන්ම රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

එය තමාගේ ද සිහිනය බව පැවසූ ජනාධිපතිතුමා එම සිහිනය ඉටුකර ගැනීම සඳහා රටට ආදරය කරන සියලු ජනතාව ඒකරාශී කරගනිමින් දිවි හිමියෙන් කැපවන බව ද අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (30) පස්වරුවේ අම්පාර අට්ටාලච්චේන ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජාති, ආගම් බේදයකින් තොරව අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර එම සියලු ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඉටුකිරීමට කැපවන බවයි.

මේ රට සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීමට රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කළයුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී සියලු ආගම් සහ සියලු ජනතාව අතර සංහිඳියාව ඉතා වැදගත් බවද කියා සිටියේය.

සංවර්ධනයේ ප‍්‍රතිලාභ සියලු ජනතාවට ලබාදීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා මෙම පෙබරවාරි 10 වනදා මැතිවරණ ජයග‍්‍රහණයත් සමග ගම් මට්ටමින් සිදුකළයුතු සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පෞද්ගලිකවම සොයා බැලීමට නැවත මෙම ප‍්‍රදේශවලට පැමිණෙන බවද සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ති‍්‍රක්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, පළාත් සභා මන්තී‍්‍ර උදුමා ලෙබ්බේ, අහමඬ් සකී, කේ.එල්. කුබෙයිදුල්ලා යන මහත්වරුන් ඇතුළු අම්පාර දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ද, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශී‍්‍රයානි විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *