සෞදියේදී මියගිය කාන්තාවගේ දේහය ලංකාවට ගෙන්වයි – පවුලේ ඥාතීන්ට සහන සැලසීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ රියාද් නුවර සේවය කරමින් සිටියදී මරණයට පත්වූ කාන්තාවගේ දේහය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ඊයේ (10) දින මෙරටට ගෙන්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දේහය ලංකාවට ගෙන්වාගැනීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස මගින් රුපියල් තිස්දහසක අවමංගල්‍ය දීමනාවක්ද පවුලේ ඥාතීන්ට ලබාදී ඇත.

තම්බිරාසා රාමයියා පුෂ්පමලර් නැමැති මියගිය කාන්තාවගේ වසය අවුරුදු 37කි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ ගතවූ මෙම කාන්තාව ලියාපදිංචි වන අවස්ථාවේදී ලබාදී ඇත්තේ ප්‍රංශවත්ත පටුමග, කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයකි.

මෙම මරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත්වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස 9 වැනිදා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මරණය වාර්තාවී මාසයක් ඇතුළත දේහය ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කඩිනම් පියවර ගත් අතර ඒ අනුව දේහය අද දින ලංකාවට ගෙන එනු ලැබීය.

මරණය සම්බන්ධයෙන් මියගිය අයගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මෙතෙක් පැමිණිල්ලක් ගොනු කර නැත.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුව ඇති අතර මියගිය අයගේ පවුලේ සාමාජිකයින්ට බලවත් ශෝකය පළකරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ගොස් ඇති නිසා අදාල රක්ෂණ වන්දි කඩිනමින් පවුලේ ඥාතීන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔවුහු උපදෙස් ලබාදුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *