ජනබල විරෝධයෙන් කළේ ජනතාව අතරමං කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –අමුතු දෙයක් කරලා ආණ්ඩුව අරන් ගෙදර යනවා කියූ ඒකාබද්ධ විපක්ෂය ඊයේ (05) ජනබල විරෝධතාවය තුළින් කෙරුවේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ ඕනෑම දෙයකට එන අයට අරක්කු දීලා, බත් දීලා, මුදල් දීලා ගෙනවිත් අතරමං කිරීමක් යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය. ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

‘ඒකාබද්ධ විපක්ෂයේ අතිවිශාල ජනකයාක් කොළඹට ගෙනැල්ලා පෙන්වන්න තමයි සූදානම් වුණේ. නමුත් සාමාන්‍යයෙන් මැයි දිනයකට එන පිරිසක්වත් අද (05) කොළඹට ආවේ නැහැ. අද ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ සංවිධානය කරන අය පැවසුවේ කොළඹට අති දැවැන්ත ජනතාවක් ගෙන එන බවයි. නමුත් එය සාර්ථක වුණේ නැහැ.

කොළඹ නගරයේ ජීවත්වන නාගරික ජනතාව මේ ගැන කිසිඳු උනන්දුවක් නැතිවයි සිටියේ. ඉතා ස්වල්ප නාගරික ජනතාවක් පමණයි මේ විරෝධතාවයට එක්වූයේ. මේ අවස්ථාවට එක්වූයේ ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඕනෑම දෙයකට යන අයයි. ඔවුන්ට මුදල් දීලා අරක්කු දීලා, බත් දීලා තමයි විරෝධතාවයට ගෙනැල්ලා තියෙන්නේ, ඒ අයව අරමුණක් අතරමං කෙරුවා. අමුතු වැඩක් කරනවා කිව්වාට කිසි දෙයක් වූණේ නැහැ.

එක එක නායකයින්ට තිබුණේ එක එක අරමුණුයි. අපි සාර්ථක උද්ඝෝෂණ දැක තිබෙනවා. නමුත් මෙහි කිසිඳු වැඩපිළිවෙළක් නැති බව පෙනුණා.එක්කෙනෙකුට ඕනේ ආණ්ඩුව පෙරළන්න, තව එක්කෙනෙකුට ඕනේ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය විසුරුවන්න . අන්තිමට විශාල ලෙස මුදලක් වියදම් කරලා ජනතාව අසරණ කෙරුවා. මේ අය කොළඹට ආවේ ආණ්ඩුව පෙරළන්නේ නැතිව යන්නේ නැහැ කියලා . හෙට (06) උදේ වනවිට දෙතුන් සියක්වත් සිටියොත් ලොකු දෙයක්. ලංකාවේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැතිව නොගැළපෙන මොහොතක මේ විරෝධතාව සිදුකර තිබෙනවා.

දේශපාලනයෙන් ඇට්ටර වූ පිරිසක් මේ විරෝධතාවයට එක්වූ අතර පොදුජනතාවගේ සහයෝගය දිනාගන්න බැරිවුණා. විශාල පිරිසක් පාලනයකින් තොරව එක්තනැකට රැස් කළාම විශාල ගැටලු මතුවෙනවා. අපි දැකලා තියෙනවා පෙරහරවල ක්‍රීඩාංගණවල මේ ආකාරයට රැස්වුණාම සිදුවන විනාශය. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා කථා නොකර ඉක්මනින් කේන්තියෙන් පිටවුණා. ජනතාවත් ඉක්මනින් පිටවුණා. නාමල් මහතාව දාලා යන්නට බැරිම කට්ටිය ටික දෙනෙක් තවම සිටිනවා. අපි හෙට උදේට ගණන් කරලා බලනවා ඉන්නේ කීයද කියලා. කොළඹ නගරය අපිරිසිදු කරලා යන්න එපා, කුණු කන්දල් ටිකත් අරගෙන යන්න.

නීතිය සහ සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා,

ඒ අය ආවේ ආණ්ඩුව අරගෙන යන්නයි. එය කරන්න නම් ඔවුන්ට කාලයක් කොළඹට වෙලා ඉන්න සිදුවෙනවා.

පවිත්‍රාදේවි වන්නිආරච්චි කිව්වේ ආණ්ඩුව අරගෙන පෙන්වනවා කියලා. මේවාට තව දීර්ඝ කාලයක් යයි. මේ පැමිණි අය ටාජ් සමුද්‍රා ‍හා හිල්ටන් හෝටල්වල කාමර වෙන්කර තිබෙන බව කිව යුතුයි.

අසාර්ථක වැඩපිළිවෙළක් සිදුවූයේ. ඒ අය ක්‍රීඩා භූමි 5ක් වෙන්කරගෙන රටේ මර්මස්ථාන වටලන්න සිටි බවට තමයි අපිට බුද්ධි තොරතුරු වාර්තාකර තිබුණේ. ඒ අය කියලා තිබුණේ කොළඹ වටකරනවා කියලා. නමුත් අවසානයේ ජනතාව අඩු නිසා එක ස්ථානයකට එනම් ලේක්හවුස් වටරවුමට එක්වුණා. එම වටරවුමට පන්දහසක් දැම්මම පිරෙනවා. ඒ නිසා එම ස්ථානය තෝරාගත්තා. අපි බලාපොරොත්තු වුණේ අඩු තරමේ හය හත්දහසක් සිටී කියලා. දැන් තුන්හාරදහසක් සිටින බවට බුද්ධි තොරතුරු වාර්තා කර තිබෙනවා. බත් පාර්සල් තිස්දහසක් සූදානම් කර තිබුණු බව තමයි ආරංචිය තිබුණේ.

මෙම මාධ්‍ය හමුවේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, නියෝජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහත්වරුද කතා කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *