(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් 12ක් පවත්වා අවසන් කළ බවත් එහි දී වසර 30කට වැඩි කාලයක් ගොඩගැසී තිබූ නොවිසඳුණු ජනතා ගැටලු 140,000ක් පමණ විසඳා අවසන්කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ අතරින් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේ නිවාස, ඉඩම්, සනීපාරක්ෂක පහසකම් ලබාගැනීම් සම්බන්ධයෙන් බවයි.
යුද්ධය හේතුවෙන් තම සැමියා අතුරුදන් වීම නිසා හෝ මරණයට පත්වීම හේතුවෙන් හෝ වැන්දඹුවී ගෘහ මූළිකත්වය දරණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එවැනි කාන්තාවන් 28,953 දෙනකුගේ ගැටලු යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අතර ඉන් 21,718ක් සඳහා දැනටමත් විසඳුම් ලබා දී අවසන්ව ඇත. අතුරුදන් වූවන් වෙනුවෙන් රජය විසින් හඳුන්වාදුන් නොදුටු සහතිකය ඉල්ලා විශාල පිරිසක් නිල මෙහෙවර භූමියට පැමිණි බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සඳුදා වන විට යාපනය දිස්ත්‍රික්කයේ යාපනය, වේලනයි, කයිට්ස්, කරෙයිනගර්, සංදිල්පායි, චංකානයි, උඩුවිල්, තෙලිප්පලෙයි, කෝපායි, චාවකච්චේරි, කරවෙට්ටි, මරුතන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් පවත්වා අවසන් කර තිබිණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයන්හි නිල මෙහෙවර වැඩසටහන පැවැත්වීමට පෙර ගැටලු 139,492ක් ඉදිරිපත් වී තිබූ අතර ඉන් සියයට 80කට පමණ නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙන දිනයට පෙර දිනයේ ම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබිණි. ඉතිරි ගැටලුවලට නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටන පැවැත්වෙන භූමියේ දී විසඳුම් ලබාදුන් අතර ගැටලු සුළු ප්‍රමාණයක් පමණක් ඉදිරි කටයුතු සඳහා ඉතිරිව තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අතරින් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම ප්‍රමාණය 27,189කි. චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගැටලු 25,613ක් ඉදිරිපත්ව තිබිණි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිල මෙහෙවර මෙතෙක් පැවැති වැඩසටන් සම්බන්ධයෙන් මෙසේ කීවේය.
”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසහටන පැවැත්වීම ආරම්භ කළේ මේ රටේ බහුතරයක් ජනතාව අතර දශක ගණනාවක් තිස්සේ විසඳාගත නොහැකි ගැටලු තිබෙන නිසා.යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු ඇතැම් ඒවා රටේ අනෙක් දිස්ත්‍රික්කවල තිබෙන ගැටලු වලට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. අවුරුදු 30ක කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවක් මේ ප්‍රදේශයේ ජීවත්වන්නේ. ඔවුන්ගේ සෑම කෙනෙකුගේම පවුලේ සාමාජිකයෙක් හෝ නැතිනම් සමීපතම ඥාතියකු හෝ යුද්ධයෙන් මරණයට පත්ව තිබෙනවා. ඔවුන් ඉන්නේ දැඩි පීඩාවකින්. ඇතැම් අයට උප්පැන්න සහතිකයවත් නැහැ. උපත ලැබූ දිනයේ සිට කිසිම වලංගු රජයේ ලියවිල්ලක් නැතිව ජීවත් වූ මිනිසුන් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන්ට මේ අදාල ලේඛන ලබා ගන්න තමන්ට තිබෙන ගැටලු විසඳාගන්න. රජයෙන් ලැබෙන දෙයක් ලබාගන්න කොළඹ තිබෙන අමාත්‍යාංශයකට එනන් හෝ රජයේ ආයතනයකට එන්න හෝ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් නිල මෙහෙවර වැඩසටහනට ඉතා උනන්දුවෙන් සහභාගී වෙනවා. විශේෂයෙන් ම හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, උප්පැන්න සහතික ලබාගන්න වගේම අපේ රජයෙන් හඳුන්වාදුන් නොදුටු සහතිකය ලබාගැනීමට ඔවුන් එනවා. මේ අයගේ තිබෙන ලක්ෂ ගණනක් මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳූ විට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් කාර්යක්ෂම කරන්න අපේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා.”
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ යාපනය දිස්ත්‍රික්කයේ මෙතෙක් හඳුනාගෙන ඇති ගැටලු අතරින් වැඩිම ප්‍රමාණනයක් ඉදිරිපත් වී ඇත්තේ නිවාස, වැසිකිළි හා පානීය ජලය සම්බන්ධයෙන් බවයි. එම ප්‍රමාණය 43,095කි. ඉදිරිපත් වූ ගැටලු අතරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ සමෘද්ධි ඇතුළු දීමනා ඉල්ලම් වන අතර එය සංඛ්‍යාත්මකව 32,431කි.
නිල මෙහෙවර වැඩසටහන අතරතුර සිදුවන වඩාත් වැදගත් දෙයක් වන්නේ මෙතෙක් නීත්‍යානුකූළව විවාහ නොවී අඹු සැමියන් ලෙස පවුල් කෑ ජෝඩු රජයේ වියදමින් විවාහ කර දීමයි. මේ අනුව එලෙස විවාහ නොවී සිටි අඹු සැමි ජෝඩු 150ක් නිල මෙහෙවර වැඩසටහන අතරතුර විවාහ කර දී ඇතැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
යාපනයේ ඩෙල්ෆ්, පේදුරුතුඩුව සහ නල්ලූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි නිල මෙහෙවර වැඩසටන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.