අඩු පීඩන තත්ත්වය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතින බවත් එබැවින් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාත හරහා හමන පැ.කි.මී. 50 ක පමණ වන තරමක තද සුළං බලාපොරොත්තු වේ.

සෙසු පළාත්වල ඇතැම් ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම දිවයිනට උතුරින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60-70ත් අතර පැවැතිය හැකිය. වැසි ඇතිවන විට එය පැයට කිලෝ මීටර 80 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *