දෝනි ජගත් පිටියට සමු දෙයි

(කොළඹ, ලංකාපුවත්) – සීමිත ඕවර ක්‍රිකට් තරග බිමේ දෙවැනි වඩාත්ම සාර්ථක නායකයා ලෙස සැලකෙන ඉන්දීයාවේ මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරයි.

වසර 16ක් ජාත්‍යන්තර පිටියේ රැදී සිටි 39 හැවිරිදි දෝනි පෙරේදා පස්වරුවේ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සිය විශ්‍රාම යෑම ප්‍රකාශ කළේය. “ඔබගේ ආදරය හා සහයෝගය වෙනුවෙන් බොහෝම ස්තූතියි. 19.29 පැය සිට මා විශ්‍රාමිකයකු ලෙස සලකන්න“ දෝනි සඳහන් කර තිබිණි.

ඕවර 50 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය, විස්සයි20 ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය යන අයිසීසී කුසලාන තුනම දිනා ගත් එකම නායකයා වන දෝනි ඉන්දියාව අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ දක්වා ද රැගෙන ගියේය.

අයිසීසීය සංවිධාන කරන ප්‍රධාන පෙළේ තරගාවලි ජයගත් සාර්ථකම නායකයා වන්නේ ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින්ය. ජාත්‍යන්තර තරගවලදී ලොව වැඩිම තරග සංඛ්‍යාවකට නායකත්වය දුන් ක්‍රීඩකයා ලෙස ද දෝනි වාර්තා අතරට එක් වෙයි. ඔහු තරග 332කදී ඉන්දීය පිලට නායකත්වය ලබාදී ඇති අතර, ඉන් තරග 178ක් ජය ගෙන තිබේ. 2007 වසරේ විස්සයි20 ලෝක කුසලානය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ දෝනි 2011 වසරේ දී එක්දින ලෝක ශූරතාව දිනා ගැනීම සඳහා කණ්ඩායම මෙහෙයවීය. 2013 වසරේ චැම්පියන්ස් කුසලානයත් ඉන්දියාවට හිමි වූයේ ඔහුගේ නායකත්වය යටතේය.

2014 වසරේ ටෙස්ට් පිටියට සමු දුන් ඔහු, ඉන් වසර 3කට පසු එක්දින නායකත්වයෙන්ද ඉවත් විය.

ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගන්නා දෝනි ලබන මස එමීර්හිදී ආරම්භ වන අයිපීඑල් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැන්චෙස්ටර්හිදී නවසීලන්තයට එරෙහිව තරග කළ දෝනිට ඉන් අනතුරුව ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. එක්දින තරග 350කට, ටෙස්ට් තරග 90කට සහ විස්සයි20 තරග 98කට ක්‍රීඩා කර ඇති ඔහු එම තරගවලදී පිළිවෙළින් ලකුණු 10773ක්, 4876ක් සහ 1617ක් රැස් කර තිබේ.

මේ අතර, ඉන්දීය පිලේ මුල් පෙල පිතිකරුවකු ලෙස කටයුතු කළ සුරේෂ් රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඔහු ද ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබේ.

එක්දින තරග 226කදී ලකුණු 5615ක්, ටෙස්ට් තරග 18කදී ලකුණු 768ක් රැස් කර ඇති රයිනා විස්සයි20 තරග 78කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1605කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *