Uber මෝටර් රථ හා ත්‍රිරෝද රථ 1,500 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකරයි

(කොළඹ, ලංකාපුවත්) –Uber සේවාවන් සමග එක්වී සිටින මෝටර් රථ හා ත්‍රිරෝද රථ 1,500 කට අධික සංඛ්‍යාවක රියදුරා සහ මගීන් අතර පූර්ණ, විනිවිද පෙනෙන ප්ලාස්ටික් තිර සවිකිරීමට පසුගියදා කටයුතු කරන ලදි. දැනට පවතින COVID-19 වසංගත රෝග තත්ත්වය හමුවේ ගනු ලබන ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදුකර තිබේ. මෙම ආරක්ෂක තිර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අනෙකුත් සේවාවන් වෙතද ව්‍යාප්ත කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතී.

මීට පෙර සෞඛ්‍ය සේවක සේවිකාවන් ප්‍රවාහනය සඳහා Uber ඉදිරිපත් වූ අවස්ථාවේදී ගනු ලැබූ පුරෝගාමී පියවරක් ලෙස මුල්ම වරට මෙම ආරක්ෂක තිර ක්‍රමය හඳුන්වා දෙන ලදි. වාහනයක් තුළ ගමන් කිරීමේදී පවා සමාජ දුරස්ථකරණ සීමාවන් පවත්වා ගැනීමට උපකාරී වන මෙම ආරක්ෂක තිර සහ ඒවා සවිකිරීම සම්බන්ධ සියලුම වියදම් Uber විසින් දරනු ලබයි.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber South Asia හි සැපයුම් හා රියදුරු මෙහෙයුම් සම්බන්ධ ප්‍රධානී පවන් වායිෂ් මහතා මෙසේ පැවසී ය. “රියදුරන්ගේත් මගීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගනිමින් අප ප්‍රවාහනයේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් නිරන්තරයෙන් අලුත් කිරීමට කටයුතු කරනවා. මේ වසර මුලදී අප, ගමන් බිමන් වලදී සමාජ දුරස්ථකරණ සීමාවන් පවත්වා ගැනීමට උපකාරී වන පියවරක් වශයෙන් මෙම ආරක්ෂක තිර ක්‍රමය හඳුන්වා දුන්නා. ඉදිරියටත් අප සතු තාක්ෂණය සහ ජාත්‍යන්තර අත්දැකීම් වලින් උපරිම ප්‍රයෝජනය ලබමින්, රියදුරන්ටත් මගීන්ටත් විශිෂ්ට තලයේ අත්දැකීමක් පිරිනැමීමට උපකාරී වන නවෝත්පාදනයන් සිදුකිරීම අපගේ ඉලක්කයයි.”

මෙම ආරක්ෂක තිර ක්‍රමය සම්බන්ධයෙන්, ඒවා සවිකරන ලද වාහන වල රියදුරන්ගෙන් දැටමත් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

“නොමිලේ ආරක්ෂක තිර සවිකිරීම අපට කළ විශාල උපකාරයක්. Covid-19 දෙවැනි රැල්ලෙන් දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බව පෙනෙන නිසා ජනතාව සිටින්නේ බියෙන්. මෙවැනි වැඩසටහන් නිසා රියදුරන්ටත් මගීන්ටත් තම ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ඇතිවෙනවා.” කොළඹ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වන සී. කුමුදු ජයතිලක මහතා පැවසී ය.

“ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් Uber මේ ආකාරයට කටයුතු කරනු දැකීම විශාල සතුටක්. මෙය ඉතා හොඳ පියවරක්. මේ නිසා මගීන්ට දැන් වඩාත් ආරක්ෂිතව ගමන් බිමන් යාමට පුළුවන්.” කොළඹ ප්‍රදේශයේ කුලී රථ රියදුරකු ලෙස කටයුතු කරන එම්. සෆ්රාත් නජිම්ඩීන් මහතා පැවසී ය.

තම සේවා කටයුතු නැවත ආරම්භ කළ දිනයේ පටන් Uber එම සේවාවන්ට සක්‍රීයව දායක වන රියදුරන් සියලුම දෙනාට පවිත්‍රකාරක හා ආරක්ෂක උපාංග ලබාදී ඇත. ජාත්‍යන්තර වශයෙන් Uber ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ වටිනාකමකින් යුත් ආරක්ෂක උපකරණ හා උපාංග මිලදීගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ එම සමාගම රු. මිලියන 10 ක පමණ ආරක්ෂක උපාංග මිලදීගෙන ඒවා රියදුරන් හා ප්‍රවාහන සේවා සැපයුම්කරුවන් අතර නොමිලයේ බෙදාදී ඇත.

මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ පිරවිය යුතු පිරික්සුම් ලැයිස්තුවක් හඳුන්වා දීම, රියදුරන් හා මගීන් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය කිරීම, රියදුරන් ගමන් වාරයකට පෙර මුහුණු ආවරණ පැළඳ සිටින බව සෙල්ෆි ඡායාරූපයක් මගින් තහවුරු කිරීම, COVID-19 සම්බන්ධ ආරක්ෂණ විධිවිධාන පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සහ, රියදුරන්ට හෝ මගීන්ට තම ආරක්ෂාව පිළිබඳව සැකයක් ඇතිවන්නේ නම් ගමන අවලංගු කිරීමේ හැකියාව ලබාදෙන ආකාරයට අවලංගු කිරීම් සම්බන්ධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ඇතුළු විධිවිධාන රාශියක් Uber මගින් දැනටමත් ක්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *