කොවිඩ් වැලදුනු සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සදහා නිවසේ සිට නිරෝධායනයට අවස්ථාව සලසා දිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා මර්ධනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුනු එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සදහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අපි මහජන නියෝජිතයෝ හැටියට ගම් වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල් වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්ධන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

රජයෙන් නොමිලේ ලබා දෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියළු දෙනා එම ස්ථාන වලට ගෙනියන්න බැහැ. හෝටල් වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පල කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමග ඉන්න පුද්ගලයින් හැටියට.

කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශාල සේවාවක් ඉටුකළා. ඒයාලට අපේ ගෞරවය පුද කළ යුතුයි.

අපි දැක්කා විදෙස් ගතව සිටින ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටට ඔවුන්ව ගෙන්වා ගන්න කියලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි පැහැදිලිව කියනවා එම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය 21 වෙනිදා සිට ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ඔවුනට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. අදාළ පීසීආර් පරීක්ෂණ කරලා සෞඛ්‍ය උපදෙස් මාලාවක් යටතේ නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *