කෘෂිකර්මාන්තය නැගෙනහිර පලාතේ ව්‍යාප්ත කිරීම සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යාමේ එක් අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කලයුතු බව අපි සැවොම පිලි ගන්නවා. එහෙයින් හැමෝම තමන්ට හැකි අයුරින් කෘෂි කර්මාන්තය නංවාලීමට දායකත්වය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේ නුවර, ගංනොරුවේ පිහිටි හදබිම අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් එකම ආයතනය හදබිම අධිකාරිය වේ. මෙතෙක් එම අධිකාරිය මගින් ක්‍රියාත්මක වූ කාර්යයන් මධ්‍යම පලාතට පමණක් සීමා වූවත් අතිගරු ජනාධිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින් නැගෙනහිර පලාතටද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර එය යතාර්ථයක් කිරීම සදහා ඔබ සෑම සියළු දෙනාගේ සහයෝගය මා බලාපොරොත්තු ‍වනවා. විශේෂයෙන් මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්ක වල රාජකාරි කටයුතු කල නිළධාරින් හා සේවක මහත්ම මහත්මින්ට ඉතා දුශ්කර ප්‍රදේශයක් වූ නැගෙනහිර පලාත තුල කිරීමට සිදුවීම යම් යම් අපහසුතා ඇති වේවි. නමුත් ඒ ඒ ප්‍රදේශ වල සිදුකල ව්‍යාපෘති එලෙසම සිදු කරමින් අපහසුතා ඇති අය මුලින්ම හදුනාගෙන අවම අපහසුතා ඇති අයගෙන් සැදුම් ලත් කණ්ඩායමක් නැගෙනහිර පලාතේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට දායකත්වය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

අපගේ අරමුණ කෘෂි සංවර්ධන ව්‍යාපෘති රාශියක් රට පුරා ක්‍රියාත්මක කිරීමටය. මේ වන විට නැගෙනහිර පලාත තුල පමණක් ගොවීන් 12000 ක් පමණ කාබනික පොහොර නිෂ්පාදන වැඩ සටහන් සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම නව ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට දැනටමත් අප මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. අනුමැතිය ලඳ සැනින් එම ව්‍යාපෘති ආරම්භ වෙනවා.

මම පසුගිය දවස් වල ඉන්දියානු සහ ජපන් තානාපති නිලධාරින් හමුවුනා. ඔවුන්ගෙන් අපගේ මෙම ව්‍යාපෘති සදහා ආධාර කරන ලෙස මා ඉල්ලීමක් කලා. ඉන්දියානු රජය මේ වන විටත් අප හට මිලියන 300 ක ආධාර ලබා දී තිබෙනවා. එමෙන්ම පසුගියදා ඉන්දියානු විදේශ අමාත්‍යවරයා හමුවූ විටද අපගේ එක් ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 900 ක ආධාර ලබා දෙන ලෙස මා ඉල්ලීමක් කලා.

කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අප සියළු දෙනාම එකා මෙන් වැඩ කරගෙන යමු. ඒක අපටත්, රටටත් වැදගත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ඒ. සේනානායක මහතා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා ඇතුළු හදබිම අධිකාරියේ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මින් රැසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *