(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තවත් නිලධාරීන් දෙදෙනෙක් නොවැම්බර් 21-24 දිනයන්හිදි තමිල් නාඩු සහ පුදුචේරි සංචාරයක නිරත වූහ.
මහ කොමසාරිස්වරයා තමිල් නාඩුවේදී එහි ආණ්ඩුකාර ආර්. එන්. රවි මහතා හමු විය.
මහ කොමසාරිස්වරයා තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා හමු වූ අතර එහිදී ඔහු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සබඳතාවන්ට අදාළ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් මහ ඇමතිවරයා සහ තමිල් නාඩු ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කළේය.
මහ කොමසාරිස්වරයා ධීවර, ධීවර සුබසාධන සහ පශු සම්පත් අමාත්‍ය අනිතා ආර්. රාධක්‍රිෂ්ණන්, මුදල් සහ මානව සම්පත් කළමනාකරණ අමාත්‍ය ආචාර්ය පලනිවේල් ත්යාගරාජන්, සුළු ජාතීන්ගේ සහ අනේවාසික දමිළ ජනතාවගේ සුබසාධන අමාත්‍ය ගිංගී කේ. එස්. මස්තාන් යන මහත්වරුන් චෙන්නායි හිදි හමු විය.
සංචාරයේ පළමු දිනය වන නොවැම්බර් 21 වන දින මහ කොමසාරිස්තුමා වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් හි සංචාරයක නිරත වූ අතර එහිදි ඉන්දීය ධීවරයන් විසින් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡාවක නිරත විය. තමිල් නාඩු රජයේ නිලධාරීහු දිස්ත්‍රික්කයේ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා සංවර්ධනය කර ඇති යටිතල සහ වෙනත් පහසුකම් පිළිබඳව මහ කොමසාරිස්තුමාව දැනුවත් කළේය. එසේම, මහ කොමසාරිස්තුමා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධකතාවය සඳහා දායකත්වය ලබා දුන් ධනුෂ්කොඩි හි පැරණි මගී වරාය නැරඹීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.
මහ කොමසාරිස්තුමා තිරුචිරපල්ලි හි ශ්‍රී ලංකා පුනරුත්ථාපන කඳවුර වෙත ද ගොස් එහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සමඟ කතාබහක නිරත විය.
එසේම මහ කොමසාරිස්තුමා දකුණු ඉන්දීය වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වෙළඳ සහ ආයෝජන වැඩසටහනක දී තමිල් නාඩු ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අතර එහිදී ඉන්දීය ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව තුළ වෙළඳ සහ ආයෝජන අවස්ථාවන් ඉහළ නැංවීම සඳහා සමීප සහයෝගීතාවයක වැදගත්කම පෙන්වා දුන්නේය.
මහ කොමසාරිස්තුමා පුදුචේරි හිදි ලුතිනන් ආණ්ඩුකාර ආචාර්ය තමිලිසායි සෞන්දරරාජන් සහ පුදුචෙරි මහ ඇමති එන්. රංගස්වාමි මහතා හමු විය. මහ කොමසාරිස්තුමා පුදුචේරි හි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද හමු විය.
තමිල් නාඩු ප්‍රාන්ත රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වෙනත් පාර්ශවකරුවන් සමඟ පැවති ඵලදායි සාකච්ඡාවන්හි දි ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව සහ දෙරට ධීවර සංගම් අතර අන්තර් ක්‍රියාකාරකම් කඩිනමින් පැවැත්වීමට එකඟ විය. ශ්‍රී ලංකාවේ විවිධ වරායන්හි තිබෙන අලුත්වැඩියා කළ නොහැකි ලෙස හානි වී තිබෙන ඉන්දීය ධීවර බෝට්ටු වෙන්දේසි කිරීමට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල් නාඩු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව මෙහිදී මහ කොමසාරිස්තුමාට දැනුම් දෙන ලදී.
මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ තමිල් නාඩු සහ පුදුචේරි සංචාරය විසින් විශේෂයෙන්ම කෘෂිකර්මය, කාබනික වගාව, ධීවර කටයුතු, ජලජීවී වගාව, ආහාර සැකසුම්, හරිත සහ පුනර්ජනනීය බලශක්තිය, නාවික සහ වරාය, වෛද්‍ය සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික හුවමාරු යනාදි අංශයන්හි සහයෝගීතාවය ඇතුළු වෙළඳ, වාණිජ, සම්බන්ධකතාවය සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්රයන්හි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවට වැදගත් වන අංශ රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගනා අවස්ථාවන් උදා කර දෙන ලදී.