(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවට උරුම වූ විශිෂ්ට වාරි කර්මාන්තය රැක ගැනීම උදෙසා වාරි තාක්ෂණය විෂයයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සමඟ එක්ව නිකුත් කෙරෙන වාරිමාර්ග අමාත්‍යාංශයේ නිල පුවත්පත වූ ‘වාරි සෞභාග්‍යා පුවත්පත’ එළිදැක්වීමේ අවස්ථාවට පෙරේදා (19) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
“ශ්‍රී ලංකාව ලෝකයේ ඉතා විශිෂ්ටතම වාරි තාක්ෂණයක් සහිත රටක්. මේ වාරි තාක්ෂණය සහ අපේ වාරිමාර්ග පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් අනාගත පරපුර පුහුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් වාරි තාක්ෂණය විෂයයක් වශයෙන් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව මගේ යෝජනාවයි. අද වෙනකොට තරුණ තරුණියන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙමින් සිටිනවා. කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය සහ කාලීන දැනුම නොමැති වීම මීට හේතුවයි. තරුණ පරපුර කෘෂිකර්මාන්තයට එක්කර ගැනීම උදෙසා නවීන තාක්ෂණයත් කාලීන දැනුමත් ඔවුන්ට දීම රජයක වගකීමක්.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයේ තිරසර සංවර්ධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාවලට අනුව මෙරට වාරි පද්ධතිය පෙර නොවූ විරූ අයුරින් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. රටේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට නම් එහි පදනම වූ වාරි කර්මාන්තය විධිමත් කළ යුතුයි. එදා අපේ රටේ රජවරු ඉතාම ඉහළ තාක්ෂණයක් සහිත වාරි කර්මාන්තයක් අපට උරුම කළා. ඒ වගේම මේ රටේ පත් වූ හැම රජයක්ම වාරි කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළා. වතුර ගබඩා කර නියඟය පාලනය කිරීමට සෑම රජයක්ම කැපවුණා.
“වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ප්‍රධාන ව්‍යාපෘති 15ක සංවර්ධන වැඩ කටයුතු කෙරෙනවා. ඊට අමතරව ග්‍රාමීය වැව් අමුණු 5,000ක් ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරන අතරම එයින්, 1,600ක් දැනටමත් ප්‍රතිසංස්කරණ කටයුතු අවසාන අදියරේ පවතිනවා. උතුරු මැද මහා ඇළ, වයඹ මහා ඇළ හා මිනිපේ මහා ඇළ වැනි ව්‍යාපෘති තුළින් ලංකාව පුරාවටම විහිදී යන පරිදි ජල දහරාවක් යොමු කෙරෙනවා. රජයෙන් සිදු කරන මෙම ව්‍යාපෘති සියල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සහ වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව මෙම නිල පුවත්පත නිකුත් කරනවා. එදා ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් රටේ ජනතාවට තොරතුරු හා දැනුම බෙදීමේ අරමුණින් ලේක් හවුස් ආයතනය ආරම්භ කළා. ඒ පිළිබඳව මේ මොහොතේ අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි.”