(කොළඹ | ලංකාපුවත්) – බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
2023 මහ කන්නය සඳහා දැනට පවතින සියලු පොහොර ප්‍රමාණයන් පිලිබඳ සමාලෝචන සාකච්ඡාවක් පසුගියදා (12) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම සාකච්ඡාවට ලේකම් ජනක ධර්මකීර්ති, ආචාර්ය ජගත් පෙරේරා මහතා සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇත.
මේ නිසා යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර බණ්ඩි පොහොර සඳහා වන මිල ගණන් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
මේ අතර පසුගිය කන්නවල දක්නට නොලැබූනු අයුරින් මෙවර මහ කන්නයේ දී ප්‍රමිතියෙන් ඉහළ කාබනික පොහොර සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පොහොර සමාගම් දෙකට අමතරව පුද්ගලික අංශය විසින් අලෙවි කරන ප්‍රමිතියෙන් ඉහළ කාබනික පොහොර ගොවි ජනතාව විසින් මෙවර මහ කන්නයේ දී වැඩිපුර මිල දී ගන්නා බව වාර්තා වී තිබේ.
ප්‍රමිතියෙන් ඉහළ කාබනික පොහොර වැඩිපුර භාවිතා කිරීමට ගොවීන් පෙළඹීම ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් ලෙස සඳහන් කළ අමාත්‍යවරයා සාර්ථක වී අස්වැන්නක් සඳහා කාබනික පොහොර මෙන්ම රසායනික පොහොර ද යම් ප්‍රතිශතයක් අනුව යෙදීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.