(කොළඹ | ලංකාපුවත්) – අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී තිබේ.
ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙනි.
විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඡන්ද 288 ක් අවශ්‍ය විය.
නමුත් ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදි දක්ෂිණාංශික සහ වාමාංශික මන්ත්‍රීවරුන් 331 දෙනෙකු විශ්වාසභංගයට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශ්වාසභංගය පරාජය වීමත් සමග ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අද ඉල්ලා අස්වනු ඇති බව සදහන් වේ.
1962 වසරෙන් පසු විශ්වාසභංගයකින් ප්‍රංශ රජය බිඳවැටුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැළකේ. එය එරට දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් පෙන්නුම් කිරීමක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මීට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ දක්ෂිණාංශික ජාතික රැලියේ නායිකා මරීනේලේපෙන් කියා සිටියේ ජනාධිපති මැක්රෝන් මෙහිදි දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි. ප්‍රංශය තුළ ඇතිවී ඇති දේශපාලනික අර්බුදයට ඔහු වගකිව යුතු බවත් ඇය ප්‍රකාශ කර සිටියි.
ජනාධිපති මැක්රෝන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදි මිචෙල් බානියර් අග්‍රාමාත්‍යධුරයට පත්කර ගත් අතර, ඒ අනුව ප්‍රංශයේ කෙටිම කාලයක් අග්රාමාත්යධූරය දැරූ පුද්ගලයා බවට ඔහු පත්වේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයා තම අනුප්‍රාප්තිකයෙකු තෝරාපත් කර ගැනීමට නියමිත අතර, ඔහු භාරකාර අගමැති ලෙස ඉදිරියේදි කටයුතු කරනු ඇති බව සඳහන් වේ.
ජනාධිපති මැක්රෝන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.