ආහාර ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් සඳහා රජයෙන් සහන

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනට අනුව 2017 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 ට අඩු සහ සේවක සංඛ්‍යාව 50 ට අඩු ආහාර හා පාන වර්ග,රසකැවිලි හා බේකරි නිෂ්පාදන,කිරි ආශ්‍රිත නිෂ්පාදන,කුළුබඩු නිෂ්පාදන,සකසන ලද මස් හා මාළු නිෂ්පාදන,පොල් ආශ්‍රිත නිෂ්පාදන සුළු කර්මාන්ත යන  ක්ෂේත්‍රයන් සඳහා (GMP) තත්ත්ව සහතික ලබා ගැනීම කළ හැකිය.

මෙම වැඩසටහනේදී තෝරාගත් කර්මාන්ත සඳහා උපරිමය රු. 100,000/- දක්වා සහතිකපත් ගාස්තු ගෙවීම් කරන අතර සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ගාස්තු ප්‍රතිපූර්ණය කරනු ලැබේ. තවද වැඩසටහන ක්‍රියාත්මක කරන කාලය තුල අවශ්‍ය මඟපෙන්වීම ද සිදු කරනු ලැබේ.

මෙම වැඩසටහන සඳහා ඇතුලත් වීමට අවම වශයෙන් අවු. 01 ක් නිෂ්පාදන වාර්තා ඉදිරිපත් කළ යුතුය. ඉල්ලුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේදී කර්මාන්තය සාර්ථකව ක්‍රියාත්මක විය යුතුය. අයදුම්පත් යොමු කරන අවස්ථාව වන විට අදාල සහතික ලබාගැනීම සඳහා සහතිකකරණ ආයතන වෙත අයදුම් නොකළ කර්මාන්තයක් විය යුතුය.

මේ සඳහා ලියාපදිංචිවීමට කර්මාන්තයේ නම හා ලිපිනය, නිෂ්පාදනවල ස්වභාවය, වාර්ෂික නිපැයුම් ධාරිතාව, වාර්ෂික පිරිවැටුම, සේවක සංඛ්‍යාව සඳහන් ඔබ විසින් සකසන ලද අයදුම්පත අධ්‍යක්ෂ, සංවර්ධන අංශ 1, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, 73/1, ගාලු පාර, කොළඹ 03. ලිපිනයට 2017 අප්‍රේල් 17 දින හෝ ඊට ප්‍රථම යොමු කරන්න.

වැඩි විස්තර සඳහා දුරකතන අංක 0112422319, 0112432750 ඇමතීමෙන් හෝ www.industry.gov.lk මඟින් ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *