2025 වන විට පවුල් ලක්ෂ 25කට නිවාස

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට රටතුළ පවුල් ලක්ෂ 25ක් නිවාස ප්‍ර‍ශ්නයෙන් පීඩා විදින බවත්, මෙම පීඩාවිදින පවුල් ලක්ෂ 25ට ම 2025 වසර වන විට නිවාස ලබාදීම වත්මන් රජයේ ප්‍ර‍ධාන අරමුණක් වන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (25) පස්වරුවේදී උදාගම් ව්‍යාපෘතියට සමඟාමී ව ඉදිකෙරෙන රක්ෂණ උදාගම සඳහා රුපියල් ලක්ෂ 60ක මුදලක් පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, අද වන විට උදාගම්මාන 25ක් ජනතා අයිතියට පත්කර ඇති බවත්, රටපුරාම උදාගම්මාන ව්‍යාපෘති 380ක වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ය. මේ වසරේ සිය අමාත්‍යාංශයේ ඉලක්කය කෙසේ හෝ උදාගම්මාන 500ක වැඩකටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කිරීම බවද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විටත් ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් විසින් මෙරට ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබාදී ඒවාට ශුද්ධ සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ වැඩසටහනට සමඟාමී ව තම අමාත්‍යාංශය මගින් නිවසක් ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

නිවසක් නොමැති, ඉඩමක් නොමැති ජනතාවගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජය බැඳී සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *